එදා ගල් ගහපු අත් වලින්ම, අද අත්පුඩි ගහනවා – ශලනි තාරකා

Report
25Shares

වසර 23ක් ලාංකේය ටෙලි නාට්‍ය ඉතිහාසයේ නොබිඳී පැවතෙන වාර්තාවක් 2020 රයිගම් ටෙලි සම්මාන උළෙලේදී සම කරන්නට අපේ රටේ ටෙලි තාරකාවකට හැකි වූවා. 1996 වසරේ සුමති ටෙලි සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම නිළියට හිමිවන සම්මානය හා විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළියට හිමිවන සම්මාන එකම වේදිකාවකදී හිමිකර ගනිමින් රංගනවේදිනී චාන්දනී සෙනෙවිරත්නයන් විසින් තැබූ වාර්තාව වසර 23 ක ඇවෑමෙන් සිය දෝතට ගන්නා නිළි තරුව වන්නේ ශලනි තාරකා නම් සුවිශේෂී රංගන ශිල්පිනියයි.

2020 වසරේ විශිෂ්ටත්වයේ පමණක් නොව ජනතා ආදරයේද කුමරිය ලෙස රයිගම් ටෙළි සම්මාන උළෙලේ කිරුළු දැරූ ශලනි තාරකා එකී සුවිශේෂී ජයග්‍රහණයෙන් ඉක්බිතිව ‘අරුණ පිනිපලස’ සමග පැවත්වූ කතාබහයි මේ…

ශලනි සම්මානයේ බර කොහොමද දැනෙන්නේ?

මගේ අරමුණ හොඳම නිළිය වීම කියලා මම පැවසුවා තමයි. අද මම ඒ අරමුණ ජය අරන්. නමුත් මට ඒ ජයග්‍රහණය සමගම හිස මතට විශාල බරක් එකතුවෙලා. ජනතාවගේ මතයයි ජූරියේ මතයයි එකම තැනකට ගෙන එනවා කියන්නේ ලොකු වගකීමක් ඉදිරියේ තියෙනවා කියන එකයි. ඒ මතය පරාජය නොකර ඉදිරියට ගෙනයන්න මම උත්සාහ කරනවා.

අනාගතයේ දවසක ඔබ නිළියක වනවා කියන පෙරනිමිති පළවෙන්නේ මොන විදහටද?

මම ඉතාම පුංචි කාලෙ පුදුම විදිහට හින්දි චිත්‍රපටි බලන්න ඇබ්බැහි වෙලා හිටිය ළමයෙක්. අකුරු ලියන්න හුරුවෙන දෙකේ තුනේ පන්තියේදි මම මගේ අනාගත බලාපොරොත්තු නිළියක් වීම කියලා ලියලා රතු දිග ගවුමක් ඇඳගෙන ඉන්න ගැහැනු ළමයෙක්ගේ චිත්‍රයක් ඇඳලා ටීචර්ට පෙන්නලා තියෙනවා. මෑතක් වෙනතුරු ඔය පොත අපේ ගෙදර තිබුණා. අපේ පන්ති භාර ටීචර් මේ ගැන අපේ අම්මටත් කියලා තිබුණා. පන්තියේ ළමයි අනාගතයේ දොස්තරලා, ඉංජිනේරුවෝ වගේ රස්සාවල් කරනවා කියද්දි මේ ළමයා විතරක් නිළියක් වෙනවා කියලා කිව්ව කියලා. එහෙම ලිව්වට පහ වසරට විතර යද්දි හින්දි චිත්‍රපටවලට තියෙන ආසාව මගෙන් මගහැරිලා ගියා. හය හත පන්තියේදි මම හරිම ලැජ්ජාශීලී තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න ළමයෙක්.

අපේ පවුලෙත් කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. මගේ සීයා, ඒ කියන්නේ මගේ අම්මගේ තාත්තා සංගීතයට ළැදි කෙනෙක්. ඒ තමයි අපේ පවුලේ කලාවට තිබුණ එකම සම්බන්ධය. මම මුලින් කිව්වා වගේ මගේ පාඩුවේ හිටිය මිසක් ඉස්කෝලෙ තිබුණ නැටුම් ගැයුම් වැයුම්වලට සහභාගි වුණ ළමයෙක් නෙවෙයි. නොතේරුම් වයසෙදි නිළියක් වෙනවා කිව්වට දැනුම් තේරුම් වයසෙදි මම කවදාකවත් නිළියක් වෙන්න හීන මවලා නැහැ. මට එහෙම වුවමනාවක් තිබිලත් නැහැ. මගේ ගුරුවරු දැන් මාව මුණගැහුණම කියනවා ඔයා ඉස්සර හිටිය විදිහට මෙහෙම තැනකට එයි කියලා හිතන්නවත් බැහැ කියලා. මට ඕන වුණේ ගුවන් සේවිකාවක් වෙන්නයි. ඒ ආසාව ඇති වුණෙත් රට රටවල ඇවිදින්න මගේ තිබුණ කැමැත්ත නිසයි. ගුවන් සේවිකාවක් වෙලා රට රටවල ඇවිදින්න ඇත්නම් කියලා හිතපු කාලයක් මට තිබුණා.

ඉපදිලා හැදී වැඩෙන්නෙ කොහෙද?

මම ඉපදෙන්නේ බළන්​ගොඩ. මගේ තාත්තගේ ගම රත්නපුරය. අම්මයි, තාත්තයි විවාහ වෙලා පදිංචි වෙලා තියෙන්නේ බළන්ගොඩ. පස්සේ කාලෙක අපි මීගමුවෙ පදිංචියට එනවා අපේ අම්මගේ ගම මීගමුව නිසා. මම මේ ක්ෂේත්‍රයට එනතුරු අපි පදිංචි වෙලා හිටියේ මීගමුවේ. අපේ තාත්ත සුසන්ත විජයබණ්ඩාර, අම්මා නිර්මා සුරාජි. මට අයියයි, නංගියි ඉන්නවා. දැන් අපි පදිංචි කොළඹ. මම මුලින්ම අධ්‍යාපනය ලබන්නේ බළන්ගොඩ ශාන්ත ඇග්නස් කන්‍යාරාමයෙන්. පස්සේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වෙලා මීගමුව නිවුස්ටඩ් බාලිකාවට ඇතුළු වුණා.

වෘත්තීය නිළිය කියන තැනට කැඳවාගෙන යන්නේ කොතැනින්ද?

2007 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා ප්‍රතිඵල එනකම් ඉන්න කාලේ මම සිරස කුමරිය තරගයට අයැදුම්පත් කැඳවන වෙළෙඳ දැන්වීම දැකලා අයැදුම්පත් භාරගන්න අන්තිම දවසට දවසක් තියලයි අයැදුම්පතක් දැම්මේ. ඒ තරගයෙන් සිරස කුමරිය කිරුළ මට හිමිවෙනවා. ඒත් එක්කම මට රඟපාන්නත් බොහෝ ආරාධනා ලැබුණා. ඒ ඇරයුම් මම දිගටම ප්‍රතික්ෂේප කළා. මොකද මට නිළියක් වෙන්න කොහෙත්ම වුවමනාවක් තිබ්බේ නැති නිසා. ඒ වෙද්දි මගෙන් ඉල්ලීමක් කළා එක නිර්මාණයක රඟපාලා බලන්න කියලා. බැහැ කියලා පස්සේ අවසාන මොහොතේ මම රඟපාන්න කැමැත්ත ප්‍රකාශ කළා. ඒ ගිහින් මාස දෙකක් විතර වැඩ කරද්දි මම බැහැ කියලා ගෙදර ආවා. උදේ පාන්දර මාව රූගත කිරීම්වලට ගන්නවා. රෑ වෙලා ගෙදරට ඇරලන්නේ. එතකොට අපි මීගමුවේ හිටියෙ. ෂූටින් තිබුණේ කොළඹ. මෙහෙම දුක් විඳින්නේ මොකටද කියලා මම බැහැ කිව්වා. ආයෙත් මම උසස් පෙළ හදාරමින් ඉද්දි ෂර්ලි පී. දෙලංකාවලගේ ‘පූජාසනය’ කියන නාට්‍යයේ සුබාගේ චරිතය කරන්න ආරාධනාවක් ලැබුණා. ඒ කාලේ වෙද්දි ෂර්ලි අයියා චාතූර්යා, ඕලු වගේ ජනප්‍රිය ටෙලිනාට්‍ය කරලා ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක්ව හිටිය කාලේ. මට සම්මුඛ පරීක්ෂණයට එන්න කියපු ආරාධනාව අහක දාන්න බැරුව ගියා. මම පූජාසනයේ සුබාගේ චරිතයට තේරුණා. වෘත්තීය රංගන ශිල්පිනියක් විදිහට ගමන පටන් ගත්තේ එතැනින්. ඉන්පසුව මට හොඳ නිර්මාණවල චරිත ලබුණා. අධ්‍යාපන කටයුතු කරන්න ඕන කියල හිතේ තිබුණා. වැඩ ලැබුණට උසස් පෙළ විභාගයට ලියනකම් නිර්මාණ පහ හයක විතරයි රඟපෑවේ.

ශලනිගේ අත්දැකීමට අනුව නළුවෙක් නිළියක් වෙනව කියන්නේ පහසු දෙයක්ද?

පිටින් බලන හැමෝටම ඔහොම හිතෙන්න පුළුවන්. නිළියක් හෝ නළුවෙක් වෙන එක මාර ලේසියි, මොකක්ද මේ පවුඩර් ටිකක් උලාගෙන දෙබස් ටිකක් කියලා ගෙදර එන එකනේ තියෙන්නේ කියලා. හැබැයි මේකට ඇවිත් කරලා බලන්නම ඕන මේක කොච්චර අමාරුද කියලා. දවස තිස්සේ අව්වෙයි ලයිට් එක්කයි ගනුදෙනු කරලා, දෙබස් මතක තියාගෙන චරිත හදාරලා මොළය වෙහෙසවලා මේක මොන තරම් දුක්කද කියලා. අහම්බෙන් රඟපාන්න එන ගොඩක් අය මේක මාර අමාරුයිනේ කියන තැනට ඉක්මනින්ම එනවා. ප්‍රේක්ෂකයා නරඹන තත්පර ගණන වෙනුවෙන් අපි පැය ගාණක් කොච්චර වෙහෙසෙනවාද කියන එක බලන අයට තේරෙන්නේ නැහැ. ඒ වෙහෙස මේ යැයි වචනයෙන් පහදන්නත් බැහැ.

සරල නිර්මාණයක් සහ ගැඹුරු නිර්මාණයක් සඳහා දරන වෙහෙස එකක්ද?

වැඩක් නම් ඒක වැඩක්ම තමයි. සරල නිර්මාණ කරන එක මහන්සි නැහැ, ගැඹුරු නිර්මාණ කරන එක මහන්සි කියනවා නෙවෙයි. දුෂ්කර පළාත්වලට ගිහින් දුෂ්කරතා අත්විඳලා චරිතයක් ප්‍රතිනිර්මාණය කරද්දී ඒකෙ ලොකු බරක් තියෙනවා. ඒ ගෞරවය එවැනි නිර්මාණ කරන කෙනාට දෙන්නම ඕන. ඒක එහෙම නැහැ කියනවා නම් වැරදියි.

රංගන දිවිය සම්මානවලින් ඔප වැටෙන්න පටන් ගන්නේ ​කොයි කාලෙද?

2014 වර්ෂයේ ‘පුංචි වලව්ව’ ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානයක් හිමිවෙනවා. ඒ තමයි මම සම්මාන ලබන පළමු අවස්ථාව. ඊට පස්සේ 2015 සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳම නැගී එන ටෙලි නාට්‍ය නිළිය හා ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය කියන සම්මාන දෙකම මට හිමිවෙනවා. ඊට පස්සේ දිගටම 2016, 2017, 2018 වර්ෂවල ජනප්‍රියම නිළිය සම්මානය හිමිවෙනවා. හොඳම නිළියට පස් වතාවක් සහ හොඳම සහාය නිළියට දෙවතාවත් නිර්දේශ වෙලයි මම අද හොඳම නිළිය සම්මානය ලබාගත්තේ. පසුගිය කාලවල හොඳම නිළිය සම්මාන නැතත් ජූරි සම්මාන ලැබුණ අවස්ථාත් තිබුණා. ටිකෙන් ටික බොහොම හෙමින් මම මේ ගමන ආවේ.

මේ ජයග්‍රහණය පසුපස ඇති හැදෑරීම මොන වගේද…

ඇත්තටම මට නිළියක් වෙන්න උණක් තිබ්බ කෙනෙක් නෙවෙයිනේ. ඒ නිසා රංගන පාසල්වලට ගිහින් රංගනය හදාරන්න මම යොමුවණේ නැහැ. හැබැයි මගේ දෛවයේ කොතැනක හරි නිළියක් වෙන්න තියෙන්න ඇති. මේ වසර දොළහ පුරාම මම දායකත්වය දුන් සියලුම නිර්මාණවල අධ්‍යක්ෂවරු ඇතුළු එම නිර්මාණවල සියලුම ශිල්පීන් ඇසුරේ තමයි මම රංගනය ඉගෙන ගත්තේ. මගේ රංගන පාසල මේ ක්ෂේත්‍රයමයි. මම මෙතැනට එන්න අවුරුදු 12 ක් තිස්සෙ ලොකු කට්ටක් කෑවා. එපා, කියල මට බෑ කියල හැරුණ තැන් තිබුණා. සමහර නිර්මාණ එක්ක කන කට්ටත් එක්ක ඒවා ඇගයීමට ලක් නොවෙද්දී, සමහර නිෂ්පාදක වරුන්ගෙන් මුදල් ගන්න අමාරු වෙද්දී කලකිරීම් ඇතිවෙලා තියෙනවා, ප්‍රශ්න ඇතිවෙලා නැත්තේ නැහැ. ප්‍රශ්න මැදින් තමයි මේ ගමන ඇවිත් තියෙන්නේ.

පූජාසනයේ ඔබ හිඳවූ ලෝකයාම ඔබට එරෙහි වුණා නේද?

ඒක හැටි. විශේෂයෙන්ම ඒක අපේ ලංකාවේ පරිසරයේ හැටි. රංගන ක්ෂේත්‍රයේ කියලා කියන්න බැහැ. සාමාන්‍ය ජීවිතයේදිත් වෙන්නේ එහෙම තමයි. අපි ප්‍රසිද්ධ නිසා අපිට නින්දා අපහාස පහර ගැසීම් එද්දී අපට එහෙම වුණා කියලා මිනිස්සු දැන ගන්නවා. නමුත් කවුරුත් නොදන්න අප්‍රසිද්ධ චරිත කොච්චර තියෙනවාද? ඒ විදිහට තැළෙන පෑගෙන වෙලාවට අපි ඒ දේවල් ඉවසාගන්න පුරුදු වෙන්න ඕනෑ. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් අද හැම දෙයක්ම වෙනස් වෙලා. එදා ගල් ගහපු අත්වලින් අද අත්පුඩි ගහනවා.

ශලනි මෙයින් මතු චරිත තෝරා බේරාගෙන කරන්න වඩාත් උත්සුක වෙයිද?

මම කාලයක් තිස්සේ තෝරාගෙන තමයි නිර්මාණවලට දායක වුණේ. මම උත්සාහ කරනවා ඉදිරියේදීත් වසරකට මිනිසුන් අතර කතාබහට ලක්වෙන එක චරිතයක් කරන්න. මම වැඩිය කාර්යබහුල වෙන්න කැමැති නැති කෙනෙක්. හැබැයි මම භාරගත්ත නිර්මාණ කිහිපයක් මේ ආපදා තත්ත්වය නිසා කරන්න බැරිව කල්ගියා. ඒ නිසා දෙසැම්බර් වෙනකම් මම අතිශය කාර්ය බහුල වෙලා ඉන්නේ.

ඔබ තිරයේ මැවූ ආශලා, කමනිලා සැබෑ දිවියේ හමුවෙලා තියෙනවද?

අනිවාර්‌යෙන්ම සොබාදහම විසින් මිහිමතට ගැහැනිය නිර්මාණය කරන්නේ දරාගැනීම, ඉවසීම වැනි ලක්ෂණත් දීලයි. මේ සමාජයේ තැළෙන, පොඩිවෙන, ඉවසන අසාධාරණයට එරෙහි වන ගැහැනු අනන්තයි අප්‍රමාණයි. පහුගිය කාලයේ ‘අඩෝ’ හි කමනි, ‘ගිරිදේවි’ හි ආශා වැනි චරිත නිසා එවැනි අය මට වැඩි වැඩියෙන් කතා කරන්න පෙලඹුණා. මං හිතනවා ඒ සියලුම ගැහැනුන්ගේ සංවේදනාවන් තමයි මම තිරයේ ප්‍රතිනිර්මාණය කරන්නේ කියලා.

අද ඔබේ ජීවිතය ගෙවෙන ආකාරය හා විවාහය ගැන අනාගත අපේක්ෂා මොනවද?

මම ජීවත් වෙන්නේ මගේ ගෙදර අය එක්ක. මගේ අයියයි, නංගියි විවාහකයි. මගේ විවාහය ගැන පවසනවා නම් මම දැන් ඒ දෙවල් ගැන මගේ ජීවිතයෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. සුදුසු කාලය ආවහම මට ඒ සංඥාව ලැබෙයි කියලා විස්වාසයෙන් ඉන්නවා. මොකද මගේ ජීවිතයේ මීට කලින් ප්‍රේම සම්බන්ධතා තිබිලා නැතිව නෙවෙයිනේ. ඒ සබඳතා එක්ක විවාහය හා බැඳුණ අනාගතය වැනි දේවල් කොච්චර සැලසුම් කළත් අපි බලාපොරොත්තු වෙන ආකාරයට ඒවා ඉටුවෙලා නැහැ. ඒ නිසා විවාහය සම්බන්ධ අනාගත සැලසුම් මට නැහැ.

ධම්මිකා සුරංජි පතිරණ | ඡායාරූප – දුමිල කල්ප

අරුණ පුවත්පත