විවාහ වෙන්න කලින්ම මම අම්මා කෙනෙක් - ධරණි ටෙලි නාට්‍යයේ සඳමිණී

Report
61Shares

තම සැමියා නොමැතිවීම ඇගේ අසරණකම වුණත් අසාධාරණයක් දකින හැම තත්ත්පරයකම ඇය ගිනියම් වෙයි. කාන්තාවකට උරුම අවිහිංසක බව පරයා විටෙක ඇය උරණ වෙයි. පුංචි තිරයේ මේ දිනවල මෙවන් කාන්තාවක් මුණගැහෙන්නේ සතියේ දින පහේ රාත්‍රී 9.30ට දෙරණ ටී.වී. තුළින් පමණයි. ධරණි නාට්‍යයේ සඳමිණි ලෙස රඟපාන ඇය හේෂානී ලියදිපිටය. මොහොතක් ඇය සමග ජීවිතය බෙදාගත්තා.ධරණි කියන්නේ මම රඟපාන පළවෙනි ටෙලිනාට්‍යය. පළමු අත්දැකීම ප්‍රධාන චරිතයකින්ම ආරම්භ කරන්න ලැබීම මම ලබපු ලොකුම වාසනාව කියලා සිතෙනවා. මේ හැම දෙයක්ම ලැබෙන්නේ දෙදහස් විස්ස දෙරණ අවුරුදු කුමරිය කිරුළ දිනාගත්තට පස්සේ.කොවිඩ් වසංගත තත්ත්වය නිසා මෙවර දෙරණ අවුරුදු කුමරිය තරගය පැවැත්වුණේ ඔන්ලයින් ක්‍රමයට. අම්මා තමයි අවුරුදු කුමරිය තරගෙට දාමු කියලා මාව දිරිමත් කළේ. මුලින්ම දැනගෙන උන්නේ නැහැ අවසාන තරගය ඔන්ලයින් ක්‍රමයට පවත්වනවා කියලා.කොහොම හරි මූලික වටයේ තරගවලින් අවසාන සියදෙනා අතරට තේරුණා. ඉන්පසු තිබුණ තරගවලින් අවසාන දොළොස් දෙනා දක්වා ආවා. අවසාන තරගයට අපි කැමති දෙයක් ඉදිරිපත් කරන්න තිබුණේ. මම නර්තනයට කැමති නිසා සම්ප්‍රදායන් තුනක් එකතු කරලා නැටුමක් හදලා යැව්වා.ඔන්ලයින් ආකාරයට අවසාන තරගය පවත්වපු නිසා අම්මා ළඟට වෙලා මටත් අවසාන තරගය බලන්න අවස්ථාව ලැබුණා. පපුව ගැහෙන කොට තමයි මම ජයග්‍රාහිකාව කියලා කිව්වේ. දිනන කෙනාව ඒ මොහොතේ සම්බන්ධ කරගන්න හදනකොට මම කොච්චර කලබල වෙලා උන්නද කියනවනම් මගේ කෝල් එකත් කට් වුණා. ඒ තරම් සතුටක් මම ඒ මොහොතේ අත්වින්ද…නිළියක් වෙන්න ඒ මොහොතේ පාර කැපෙයි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නැහැ. මොකද මම කවදාවත් නිළියක් වෙන්න හිතපු කෙනෙක් නොවන නිසා.පුංචි කාලේ ඉඳන්ම මගේ හීනය වුණේ නර්තන ශිල්පිනියක් වෙන්න. මොකද දන්න කාලේ ඉඳලම නර්තනය මගේ ලේවලට බද්ධ වෙලයි තිබුණේ.නර්තනය ඉගෙන ගන්න රැජිනි සෙල්වනායගම් මිස් ළඟට ගියේ අවුරුදු හතරෙදි. එතකොට මම ගොඩක් පුංචි දැරිවියක්. මුලින්ම මම මිස් ළඟ නටපු දවසේ ගෙදර ආවේ ඔංචිල්ලාවෙන් වැටිලා ඔළුවත් පළාගෙන. මට බය හිතුණා අම්මා ආයේ මාව නැටුම් පන්ති යවන එකක් නැහැ කියලා. නමුත් මගේ තියෙන දක්ෂතාවය තේරුම් ගත්තු අම්මා හැමදාම මාව නර්තනයට උනන්දු කළා.මම අධ්‍යාපනය සඳහා ඇතුළු වුණේ කොළඹ යශෝධරා මහා විද්‍යාලයට. එහෙත් මගේ ප්‍රධාන විෂය වුණේ නැටුම්. අනිත් අය විවිධ විෂයන් තෝරන කොට මගේ කැමැත්ත තිබුණේ නැටුම් කාමරේටම යන්න.නැටුම්වලදී උපරිම දක්ෂතා පෙන්නුවා. හය වසරේ ඉන්නකොට සමස්ථ ලංකා තරග ජයග්‍රහණය කරන්න ලැබුණා. නැටුම්වලින් ජාත්‍යන්තර තරගවලට පවා ඉදිරිපත් වුණේ ඉතා කුඩා වියේදි. නර්තනය නිසා ඩුබායි, ඊජිප්තුව වැනි රටවලට පවා යන්න අවස්ථාව ලැබුණා.කොච්චර නැටුවත් කිසිම දවසක රියැලිටි තරග සඳහා ඉදිරිපත් වුණේ නැහැ. මට ඕන වුණේ ජනප්‍රිය තරුවක් වෙනවට වඩා විෂයක් හැටියට නර්තනය නියම ආකාරයට හදාරන්න.අවසානයේ මම ඒ දේ කළා. නර්තන අංශයෙන් උපාධිය හදාරන්න සෞන්දර්ය විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබන්න පුළුවන් වුණා. එතනින් පස්සෙ තමා ජනප්‍රියත්වය මා පසුපස ඒම ආරම්භ වෙන්නේ.රඟපාන්න කලින් වෙළෙඳ දැන්වීම් කීපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. නර්තනයට වගේම රංගනය තෝරගන්න කොටත් අම්මා මට හදවතින්ම ආශිර්වාද කළා. නමුත් දුව නිළියක් කරන්න අප්පච්චිනම් කැමති වුණේ නැහැ. පුංචි කාලේ ඉඳලා මම ඉලක්ක සපුර ගත්ත ආකාරය ගැන අප්පච්චිට පැහැදිලි කළා. අවසානයේ නිවැරදි දේ කරනවා කියා විශ්වාසය ඔහු මා කෙරෙහි ඇතිකර ගත්තා.රංගනය කියන්නේ නරක දෙයක් නෙමේ. හොඳට කළොත් ඕනම දෙයක් හොඳයි. නමුත් නරක පැත්තට ගියොත් තමා දැලි ගෑවෙන්නේ. පුංචි කාලේ ඉඳලාම මම හැමදේකටම ඉදිරිපත් වෙලා නිවැරදි දෙයක් තේරුම් ගැනීමේ බුද්ධිය මා සතුව තිබුණා.අන්න ඒ විශ්වාසය උඩ තමයි රංගනය මගේ වෘත්තිය හැටියට තෝරගත්තෙ.නිළියක් වුණා කියලා කිසිම දවසක කැම්පස් එක ඇතුළෙන් මට ප්‍රශ්න ඇතිවුණේ නැහැ. සෞන්දර්ය විශ්වවිද්‍යාලය තුළ ඉන්න හැම කෙනෙක්ම කලාවට පුදුම ආදරයක් තියෙන්නේ. ඩ්‍රීම්ස්ටාර් තරගයට ආපු බොහෝ දෙනෙක් ඉන්නවා. කලාවට කැමති කෙනාට උදව් කරන වටපිටාවක් ඇතුළේ මගේ කැම්පස් එක මගේ අනාගතයට ලොකු ශක්තියක් වුණා.ධරණි ටෙලිනාට්‍යය මුල ඉඳන්ම මට ලොකු අභියෝගයක්. මට රඟපාන්න ඕන දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්ගෙ චරිතයක්. එක පැත්තකින් සැමියා මියගිය කනවැන්දුම් ගැහැනියක්. තවත් පැත්තකින් හොඳ සටන්කාරියක්. පෞද්ගලික ජීවිතයේ මට මේ කිසිම දෙයක් ගැන අත්දැකීමක් නැහැ. හැබැයි මම පුංචි දරුවන්ට හරිම ආදරෙයි. අක්කාගෙ දරුවන්ට මම සලකන්නේ මගේ දරුවන්ට වගේ… වචනයෙන් නොකීවත් මම එයාලගේ අම්මා වගේ. පුංචි කෙනෙක්ගේ අත්දැකීම විතරක් තුරුළු කරගෙන මම මව් සෙනෙහස මගේ ජීවිතේට ආරෝපණය කරගත්තා කියලා කිව්වොත් නිවැරදියි.හැබැයි ඒ දෙබස් කියනකොට දරු සෙනෙහස මගේ පපුවෙ තැන්පත් වුණා. මේ දරුවෝ දෙන්න මගේ කියන තැනට පත්කරගන්න පුළුවන් වුණා. නිළියක් කියන භූමිකාව පැත්තකින් තියලා හදවතින්ම මම අම්මා කෙනෙක් වුණා. විවාහ වෙලා දරුවන් හදන්න කලින්ම මම අම්මා කෙනෙක් වුණා.හැමදේකටම වඩා ලොකු ප්‍රශ්නයක් වුණේ සටන් කලාව ගැන මට කිසිදු අත්දැකීමක් නොතිබීම. කොටින්ම හයියෙන් අතමිට මොළවන්නවත් මම දැනගෙන උන්නේ නැහැ. ඔසද සමන් බණ්ඩාර තමා මට සටන් පුහුණු කළේ. ඕනම දෙයක් කරන්න පුළුවන් කියන මානසිකත්වයෙන් උන්නු මට මේක මහා අමාරු දෙයක් නොවන බව ඒත්තු ගැන්නුවා. සති ගානකින් මම සටන් කලාව ගැන ඉගෙන ගත්තා.අත්දෙක නිල්වෙන තරමට අත් දෙකේ තැලුම් තිබුණා. අත් දෙක කකියනවා. මුළු දවසම මම අත්දෙකේ අයිස් තියාගෙන ඉන්නවා. එතකොට හරි යනවා. ලොකු දුකක් විඳලා තමයි මම සටන් කරන්න ඉගෙන ගත්තේ.ධරණි නාට්‍යයේ මට තිබුණ මුල්ම සටන් ජවනිකාව තමයි හතර දෙනෙක් එක්ක ගහගන්න එක. නිවැරදි පුහුණුවක් එක්ක මම හරිම ආසාවෙන් ඒ දර්ශනයට මුහුණ දුන්නේ. සමහර අවස්ථාවල ඇත්තටම පහර දෙන්න සිද්ධ වුණා. අනිත් අයත් බය නැතිව කියනවා ගහන්න කියලා. කොහොම හරි නාට්‍යය රූපවාහිනියේ නරඹන කොටයි තේරුම්ගියේ කොච්චර සාර්ථක ආකාරයට සටන් කරාද කියලා.දැන්නම් මේ ක්ෂේත්‍රයෙන් ඉස්සරහට යන්න කැමතියි. නැටුම්වලට ආසා කරලා අවසානයේ නිළියක් වෙන තැනටම ඇවිත්. ප්‍රථම රංගනයෙන්ම ඉහළ ප්‍රතිචාර ලබනවා. තවත් නිර්මාණ කීපයකටම ආරාධනා ලැබෙනවා. නමුත් තරුමිණිගෙ චරිතය නිමාවෙනකම් වෙන කිසිම දෙයක් භාරගන්නේ නැහැ. ජීවිතේ මුල ඉඳලම කටයුතු කළේ පිළිවෙළකට. ආපු ගමන තුළ හැම දිනයක්ම නිමා කළේ සාර්ථක ආකාරයට. ඉදිරියටත් බොහෝම හිමින් නිවැරදි ගමනක් යන එක තමයි එකම අරමුණ.ජීවිතය ගැන පරිණත අත්දැකීම් සමුදායක් ඇති ගැහැනියකගේ චරිතය රඟපෑවත් තාමත් මම තනිකඩයි. ජීවිතේ අනිත් දේවල් කලට වේලාවට ලැබුණා වගේම කෙනෙක් ඇවිත් මගේ ජීවිතයේ අඩුව පුරවාවී. ඒ මොහොත පපුවට දැනෙනකම් මම බලාගෙන ඉන්නවා.ධරණි තාම පටන් ගත්තා විතරයි. තරුමිණිට මොකද වෙන්නේ කියලා තමා හැම කෙනෙක්ම මගෙන් අහන්නෙ. තරුමිණි ජීවිතයේ ඉස්සරහට යනවා. ස්වාමියා හදිසි අනතුරකින් නැතිවුණා කියලා තරුමිණි නතර වුණේ නැහැනේ. දයාල් ගෙදරින් පන්නන්න හැදුවට මහ පාරට වැටෙන්නේ නැහැ. ආයතන ප්‍රධානියා කරදර කරන්න හැදුවට රස්සාවෙන් අයින් වෙන්නේ නැහැ. මම කියන්නේ හැම ගැහැනියක්ම සඳමිණි වගේ වෙන්න කියලා. මොකද ප්‍රශ්න කරදර කියන්නේ ජීවිතයේ නතර වීමක් නෙමේ. ඒවා පසුකරගෙන ඉදිරියට යා යුතුමයි. මමත් දැන් හිතන්නේ සඳමිණි වගේමයි. තරුමිණි තරමට මගේ හිතත් ශක්තිමත්. ගෙවෙන මේ මොහොත හොඳින් ගත කරනවා. ඒ තුළින් සාර්ථක හෙට දවසක් නිර්මාණය වෙයි කියන එක මම දැඩිව විශ්වාස කරනවා.

1584 total views