මංගල උත්සව වලට පැමිණිය යුතු පිරිස ගැන ඉල්ලීමක්..

Report
0Shares

විවාහ මංගලෝත්සව සඳහා සහභාගි විය හැකි සංඛ්‍යාව 50 දක්වා සීමා කිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි උත්සව ශාලා හිමිකරුවෝ පවසති. මේ දිනවල හෝටල්වලට ඇති එකම සීමිත ආදායම් මාර්ගය වන විවාහ මංගලෝත්සවද සීමා කිරීම් හේතුවෙන් සම්පූර්ණයෙන් අත්හිටුවන තත්ත්වයක් උදා වී ඇතැයි මේ පිළිබඳව අරුණට අදහස් දැක් වූ පොළොන්නරුව දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සමුදිත චන්ද්‍රසිරි පැවසීය.

මංගල උත්සවවලට පනහ කියන සීමාව ඇතුළේ කොහොමද මේක කරන්නේ? මනාල යුවළ, දෙමාපියන්, ඡායාරූප ශිල්පීන්, වීඩියෝ, මේකප් කරන්නන් ඇතුළුව මංගල්‍යයකට අත්‍යවශ්‍යම පිරිස විතරක් තිහක් විතර වෙනවා. එතකොට ඥාතීන් ඇතුළු සියලුම ආරාධිතයන් අතරින් තවත් පිරිසකට විතරයි ආරාධනා කරන්න පුළුවන්. මේක ප්‍රායෝගික නැහැ.

අද කෝච්චි පෙට්ටියක, බස් එකකට අසූවක් විතර පිරිස හිරවෙලා යනවා. ඔවුන්ගේ කිසිම හඳුනා ගැනීමක් සිද්ධවෙන්නේ නැහැ. නමුත් හෝටලයකට එන පිරිස අනිවාර්යයෙන්ම කවුද කියලා සටහන් වෙනවා. ඒ වගේම ඔවුන්ව නිරීක්ෂණය කරන්නත් අපිට පුළුවන්. ඒ නිසා මේ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඉක්මනින්ම සංශෝධනය කරලා අඩුම තරමින් විවාහ මංගලෝත්සවයකට එකසිය පනහක පිරිසටවත් අවසර දෙන්න කියලයි අපි ඉල්ලන්නේ.

මෙම චෝදනාව පිළිබඳව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් අරුණ විමසීමක් කළේය.

‘‘කෝච්චිවල, බස්වල යන සෙනගත් එක්ක විවාහ උත්සව සංසන්දනය කරන්න බැහැ. ගමනාගමනය අත්‍යවශ්‍ය කටයුත්තක්. රටේ ආර්ථිකයට ඒක වැදගත්. නමුත් විවාහවල සහභාගිවීම් සීමා කරන්න පුළුවන්.

මෑතකාලීනව අපි නිරීක්ෂණය කරපු දෙයක් තමයි විවාහ උත්සවවලින් සීය, එකසිය පනහ වගේ විශාල කොවිඩ් පොකුරු නිර්මාණය වීම. කොච්චර කිව්වත් ඔවුන් මාර්ගෝපදේශ පිළිපදින්නේ නැහැ. එකසිය පනහකට අවසර දුන්නහම උත්සව ශාලා තුනක් තියෙන හෝටල්වල එකසිය පනහ ගානේ එම ශාලා තුනටම හාරසිය පනහක් විතර ආරාධනා කරනවා. ඊට පස්සේ ඔවුන් සියලු දෙනාටම එකවර කෑමට ආරාධනා කරනවා. ඒ නිසා මේ මාර්ගෝපදේශ පනවල තියෙන්නේ පැහැදිලි හේතු සහිතවයි.