කොරෝනාව ලොවපුරා කොන්ඩම් හිඟයක් ඇති කරයි...ඒඩ්ස් සහ ලිංගාශ්‍රීත රෝග වැළඳීම අවදානමක්..

Report
17Shares

ලොවපුරා මේ වන විට විශාල කොන්ඩම් (උපත් පාලන කොපු) හිඟයක් මතුවී ඇති බව ප්‍රධාන පෙලේ කොන්ඩම් නිෂ්පාදන සමාගම් සඳහන් කර සිටිනවා.

ලොව ප්‍රධාන පෙලේ කොන්ඩම් (උපත් පාලන කොපු) නිෂ්පාදනය කිරීමේ සමාගමක් වන මැලේසියාවේ පිහිටි Karex Bhd (KARE.KL) සඳහන් කර සිටින්නේ සතියක කාලයක් පුරාවට සිය කර්මාන්ත ශාලා තුනෙහි එකඳු කොන්ඩමයක් හෝ නිෂ්පාදනය නොකළ බවයි.

ඒ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මැලේසියානු රජය විසින් සතියක කාලයක් එරට සම්පුර්ණයෙන් වසා දමා තිබීම හේතුවෙන්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විවිධ සංවිධාන විසින් ඒඩ්ස් සහ ලිංගාශ්‍රීත රෝග වැළැක්වීම සඳහා අප්‍රිකානු මහද්ධිවිපය සහ ලොව විවිධ රටවල් තුල ක්‍රියාත්මක කරන වැඩසටහන් සඳහා වාර්ෂිකව කොන්ඩම් (උපත් පාලන කොපු) මිලියන 100 කට අධික ප්‍රමාණයක් ලබා ගැනීම සිදු කරනු ලබනවා.

මේ වන විට එම වැඩසටහන් සඳහා අවශ්‍ය කොන්ඩම් (උපත් පාලන කොපු) ලබා දීමද ගැටළුවක් වී ඇති බවයි නිෂ්පාදන සමාගම් සඳහන් කරන්නේ.

මැලේසියාවට අමතරව ලොව කොන්ඩම් (උපත් පාලන කොපු) නිෂ්පාදනය කරන ප්‍රමුඛ පෙලේ සමාගම් පිහිටි රටවල් වන චීනය, ඉන්දියාව, තායිලන්තය වැනි රටවල පිහිටි කර්මාන්ත ශාලාද මේ වන විට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිම සඳහා වසා දමා තිබෙනවා.

ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ ඉදිරියේදී විශාල වශයෙන් කොන්ඩම් (උපත් පාලන කොපු) හිඟයක් ඇතිවන බවත් එම තත්ත්වය මග හරවා ගැනීමට මාස කිහිපයක් ගත වනු ඇති බවට එම සමාගම් සඳහන් කර සිටින බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කර සිටින්නේ.

එමෙන්ම මෙම තත්ත්වය හමුවේ ඒඩ්ස් සහ ලිංගාශ්‍රීත රෝග වැළඳීම ප්‍රවනතාවක් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.