රුසියාවේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 181 දෙනෙකු දිවයිනට...

Report
4Shares

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 181 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (25) දින අලුයම මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් සියලු දෙනාම සහ ඔවුන් විසින් රැගෙන ආ බඩුබාහිරාදිය ද ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විෂබීජ හරණය කිරීමට ලක් කළා.

පසුව මෙම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් මොවුන් තුළ කොරෝනා වෛරස ආසාදනය වූ බවට ලක්ෂණ තිබේදැයි සොයා බැලීමක් ද ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සිදු කරනු ලැබුවා.

ඉන් පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මෙම ගුවන් මගීන් පිරිස නීරෝධායන කටයුතු සදහා විශේෂ බස් රථවල නංවා ගෙන එම මධ්‍යස්ථාන කරා රැගෙන යෑමට පියවර ගෙන තිබුණා.

රුසියාවේ සිට ශ්‍රී ලංකාවට මේ ආකාරයට රැගෙන ආ දෙවන කණ්ඩායම මෙයයි. මීට පෙර 22 වැනි දින ද මෙවැනිම ශ්‍රී ලාංකික ගුවන් මගීන් 261ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණා.