කොරෝනා වැළදුනු ලංකාපුර රෝගියාගේ ආශි‍්‍රතයින් තැන තැන විසිරිලා...ඔහුගේ ආශි‍්‍රතයින් 1000 ගේ PCR පරීක්‍ෂණ අද.

Report
5Shares

කොරෝනා වෛරසය ආසාදනය වූ පොළොන්නරුව, ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියාගේ ආශි‍්‍රතයින් දහසක් අද (31) දිනයේ PCR පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒවායේ ප‍්‍රතිඵල ලැබීමෙන් පසු ඉදිරියේදී ගන්නා කි‍්‍රයාමාර්ග පිළිබද අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බවයි පැවසෙන්නේ.

දිස්ති‍්‍රක් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජයන්ත චන්ද්‍රසිරි මහතා සදහන් කළේ, ඊයේ (30) රාති‍්‍රයේද අදාළ කොරෝනා ආසාදිතයාගේ සමීපතමයින් 325 දෙනෙකු PCR පරීක්‍ෂණවලට ලක් කළ බවයි.

පවුල් 300 කට අධික පිරිසක් මේ වනවිටත් ස්වයං නිරෝධායනයට ලක් කර අවසන් බවයි ඒ මහතා පැවසුවේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, වෛරසය ආසාදනය වූ පුද්ගලයාගේ සමීපතමයින් සෙවීම සදහා සෞඛ්‍ය, ආරක්‍ෂක හා බුද්ධි අංශ අඛණ්ඩව මෙහෙයුම් සිදුකරමින් සිටින බවයි.

මෙම නිලධාරියා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ ආශ‍්‍රිතයෙකු වුවත් ඔහුට වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි මෙතෙක් අනාවරණ වී නොමැති බව දිස්ති‍්‍රක් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජයන්ත චන්ද්‍රසිරි මහතා ප‍්‍රකාශ කළා.

මේ අතර ලංකාපුර ප‍්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මිලින්ද සම්පත් සඳහන් කළේ මෙම නිලධාරියා සමග සමීපව ඇසුරු කළ බව කියන ඇතැම් ආශ‍්‍රිතයින් පොළොන්නරුව, හිඟුරග්ගොඩ ඇතුළු ප‍්‍රදේශ කිහිපයක විසිරි සිටින බවයි.