රාජාංගණයේ පාසල් සිසුවෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සැකයක්...සිසුන් ඇතුළු 86ක් නිරෝධායනයට.

Report
6Shares

අනුරාධපුරය රාජාංගනය ප්‍රදේශයේ, යාය 05 ප්‍රදේශයේ පාසැලක ඉගෙනුම ලබන වයස අවුරුදු 16ක් වයසැති සිසුවෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මතුවූ සැකයක් මත පුද්ගලයින් 90 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව රාජාංගණය ප‍්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසනවා.

අහඹුව සිදුකළ මෙම සිසුවාගේ පළමු PCR පරීක්ෂණයේදී ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් සිදුකළ දෙවැනි පරීක්ෂණයේදී ඔහුගේ පරීක්ෂණ වාර්තා සෘණාත්මක වීම නිසා යළි එම ජෛව සාම්පල් පරික්ෂා කිරීමට යොමු කළ බවයි වෛද්‍ය තේජන සෝමතිලක සඳහන් කර සිටියේ.

එම පරීක්ෂණ වාර්තාව අද රාත්‍රියේදී ලැබීමට නියමිතයි.

මෙම සිසුවා පසුගිය 10 වෙනිදා පාසැල් ගොස් ඇති බව පැවසූ වෛද්‍යවරයා මිට පෙර රාජාංගනය ප්‍රදේශයේ හඳුනා ගනු ලැබූ කොරෝනා ආසාදිත රෝගියෙකුගේ නිවස ඉදිරිපිට නිවසක මෙම සිසුවා ජිවත්ව ඇති බවද සඳහන්.

ඒ අනුව වෛද්‍ය තේජන සෝමතිලක මහතා සඳහන් කර සිටියේ, මෙම සිසුවාගේ තෙවන PCRපරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් ඔහු ජිවත්වන නිවස අවට පිහිටි නිවාස කිහිපයක ජිවත්වන පුද්ගලයින් 30 කට ආසන්න ප්‍රමාණයක් දැනට ස්වයං නිරෝධායනයට යොමු කළ බවයි.

මිට අමතර මෙම සිසුවාගේ පාසැලේ ආශ්‍රිතයින් බවට හඳුනා ගෙන සිටින ළමුන් 50 දෙනෙකු සහ ගුරුවරුන් 06 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කළ බව රාජාංගනය ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.