ඉදිරි මාස දෙක දැඩි අවධානම්... ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්.

Report
5Shares

එළඹෙන ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී යුරෝපයේ දෛනිකව සිදුවන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු ඇඟවීමක් කරනවා.

එය සුබදායී පුවතක් නොවූවත් ප්‍රායෝගිකව මුහුණදිය යුතු තත්ත්වයක් බවයි එම සංවිධානයේ යුරෝපීය අධ්‍යක්‍ෂ හෑන්ස් ක්ලූග් මහතා සඳහන් කළේ.

මෙවැනි තත්ත්වයක් තුළ එන්නතක් මගින් කොවිඩ් 19 වසංගතය මුළුමනින්ම තුරන් කළ හැකිද යන්න පිළිබඳව තවමත් විශ්වාසයක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

වෛරසය සඳහා නිපදවන එන්නතක් සියලුම ජනගහණ කණ්ඩායම්වලට ක්‍රියාකාරීව බලපාන්නේද යන්න අවිනිශ්චිත කරුණක් බවත් කොවිඩ් 19 වෛරසය සඳහා විවිධ එන්නත් වර්ග එක්රැස් කිරීමද ප්‍රායෝගික නොවන බවත් ඒ මහතා කියා සිටියා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, මේ හේතුවෙන් මෙම වසංගත තත්ත්වය තුළ ජීවත්වීමට ඉගෙනීම වඩාත් ධනාත්මක ප්‍රවේශය බවයි.

මේ වනවිට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි 94 ලක්ෂ 33,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව 9 ලක්ෂ 32,395 ක් වනවා.