මාතරින් හමුවූ කොරෝනා ආසාදිතයා ආ ගිය තැන්... ඔහු සිටි හෝටලය නිරෝධායන නීති කැඩූ හැටි.

Report
3Shares

කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනුණු රුසියානු ජාතිකයා නවාතැන්ගෙන සිටි සංචාරක හෝටලයේ පරිපාලනය විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් මඟින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සහ උපදෙස් නිසිලෙස අනුගමනය කර නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

ඔහු කියා සිටියේ නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස අදාළ සංචාරක හෝටලය ක්‍රියාත්මක විය යුතු වන්නේ යුද හමුදාවේ අධීක්ෂණය යටතේ වූවද, හෝටල් පරිපාලනය විසින් මෙම සංචාරක කණ්ඩායම සම්බන්ධයෙන් යුද හමුදාව දැනුවත් කර නොමැති බවයි.

කෙසේ වෙතත්, මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී වළක්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියා.

මේ අතර මාතර - පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගැනීම සඳහා රුසියානු ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයින් 15 දෙනෙකු පැමිණ ඇත්තේ පසුගිය 13 වනදායි.

ඔවුන් ඊයේ (24) දිනයේ මෙරටින් පිටත්ව යාමට නියමිතව සිටි අතර ඊට පෙර මාතර නගරයේ පෞද්ගලික රෝහලකින් පී.සී.ආර් පරීක්ෂණ සිදු කරගෙන තිබේ.

මාතර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එරාජ් වීරසූරිය මහතා සඳහන් කළේ, එක් රුසියානු ජාතිකයෙකුට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බවයි.

කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගත් රුසියානු ජාතිකයා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (24) සිදුකළ පළමු පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තා අනුව ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ සුරංග උබේසේකර මහතා සඳහන් කළා.

කෙසේ වෙතත්, ඊයේ රාත්‍රියේත් ඔහුගෙන් යළි ජෛව සාම්පල ලබාගෙන තවත් පී.සී.ආර්. පරීක්ෂාවක් සඳහා යොමුකර ඇති අතර, එහි වාර්තාව ද අද දිනයේ ලැබීමට නියමිතයි.

මේ අතර, අදාළ සිද්ධියත් සමඟ මේ වනවිට පුද්ගලයින් 100කට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක නිරෝධායනයට යොමුකර තිබේ.

ඒ අනුව ආසාදිත රුසියානු ජාතිකයා නවාතැන්ගෙන සිටි හෝටලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 18 දෙනෙකු සහ හෝටලයේ කළමනාකරුගේ බිරිඳ හා ළමයින් දෙදෙනා මෙන්ම තවත් ගර්භණී කාන්තාවක්ද අදාළ හෝටලයේ සිට නිරෝධායනයට ලක්වනවා.

තවත් හැට දෙදෙනෙකු පොලිසිය මගින් පවත්වාගෙන යනු ලබන හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වන බව සඳහන්.