වැල්ලවත්තේ බැංකු නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා..තවත් ඇඟලුම් හලකින් රෝගියෙක් හමුවෙයි.

Report
18Shares

වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවය කරන නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වනවා.

එම නිලධාරීන්ගේ මවුවරුන්ට ද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළා.

ගනේමුල්ල ප්‍රදේශයේ බැංකු ශාඛාවක ආසාදිත නිලධාරියකු එම ශාඛාවට පැමිණි බව හෙලිවීමෙන් පසු සිදුකරන ලද කොරෝ්නා පරික්ෂා වලදී මෙම ආසාදිතයන් හමු වී තිබේ.

ඔවුන් ආශ්‍රය කළ පුද්ගලයන් සියලු දෙනා නිරෝධායට ලක් කිරීමට කටයුතු කර ඇති අතර කොරෝනා පරීක්ෂාවකට ලක් කිරීමට ද නියමිතයි.

මේ අතර කහතුඩුව පිහිටි හයිඩ්‍රාමනී ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිලධාරිනියකට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ, ඇයටත් ඇයගේ සහෝදරයටත් කොරෝනා ආසාදිත යැයි තහවුරු වී ඇති බවයි.

ඔවුන් ඔලබොටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් දෙදෙනා මිනුවන්ගොඩ පැවති මංගල උත්සවයට සහභාගී ඇති බවත් එහිදී කොරෝනා ආසාදිත වූවන් සමග කතාබහ කර ඇති බවත් හෙළි වී තිබේ.

අදාල ඇගලුම් කර්මාන්ත ශාලාවේ සියලුම සේවකයන් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමට නියමිතව ඇති අතර අවශ්‍ය පරිදි නිරෝධායන කටයුතු සිදු කරමින් තිබේ.