කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ - හොරණ බලපිටිය සහ තවත් ප්‍රදේශ රැසක්

Report
104Shares

කොළඹ නගරය ඇතුළුව දිවයින පුරා මාළු වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක් වන පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 105 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඉකුත් සඳුදා සිදුකර තිබූ අතර ඒවායේ ප්‍රතිඵල අද (21) ලැබී තිබුණි.

ඒ අනුව එම 105 දෙනා අතරින් 49 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය චන්දිමා වික්‍රමගේ මහත්මිය සඳහන් කළාය.

මෙම 49දෙනා අතරින් 46 දෙනෙකුම වෙළෙඳුන්වන අතර සෙසු තිදෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් ය.

ආසාදිතයින් ලෙස හඳුනාගත් වෙළෙඳුන් 46 දෙනා මට්ටක්කුලිය, වැල්ලම්පිටිය, අංගොඩ, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස්, මරදාන, මාළිගාවත්ත, මොරටුව, බත්තරමුල්ල, කොස්වත්ත සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත, හැඳල, දළුගම, රාගම, කඳාන, වත්තල, කැලණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

මෙලෙස විශාල ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තාවීමත් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව වසාදැමීමට බලධාරීන් පියවර ගත්තේ ය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සේවය කළ වැල්ලම්පිටිය හල්මුල්ල ප්‍රදේශයේ පදිංචි දෙදෛනකුට වෛරසය ආසාදනයවීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.

එමෙන්ම හල්මුල්ල ප්‍රදේශයේ පවුල් 50කට පමණ අයත් පුද්ගලයින් 78 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

මේ අතර, කොට්ටාව මාළු වෙළෙඳසැළක් ද තාවකාලිකව වසා දැමීමට අද සිදුවිය.

කොට්ටාව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්. තිලකරත්න මහතා සඳහන් කළේ අදාළ මාළු වෙළෙඳසැළේ පුද්ගලයින් සිව්දෙනෙකුට වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

ආසාදිතයින් සිව්දෙනා කළුතර පිඹුර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

කඩවත රන්මුතුගල බංගලාවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගැනීමත් සමග බංගලාවත්ත ප්‍රදේශයේ සංචරණය සීමා පැනවීමට සෞඛ්‍ය අංශ ඊයේ (20) පස්වරුවේ පියවර ගෙන තිබුණි.

අදාළ ආසාදිතයින් 6 දෙනා අතරට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ආශ්‍රිත වෙළෙන්දෙකු, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා අයත් ය.

මේ හේතුවෙන් අදාළ ආශ්‍රිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 200 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබේ.

ගම්පොල මිල්ලගහමුල බොනටුවල ප්‍රදේශයේ පදිංචි වේයන්ගොඩ විහාරස්ථානයක සේවය කළ පෙදෙරේරුවන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි පසුගියදා තහවුරුවීමත් සමඟ එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 48 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමුකර කෙරිණ.

එම වාර්තා අද ලැබුණු අතර ඉන් තිදෙනෙකුට කොවිඩ් - 19 ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ ආසාදිත බවට හඳුනාගත් පෙදරේරුවකුගේ දරුවන් තිදෙනෙකු ය.

මීට පෙර ආසාදිතයකු හමුවූ කහතුඩුව ඇඟලුම් ආයතනයේ සේවයකළ හොරණ තලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට ද කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි අද තහවුරු විය.

ඒ සමඟින් අදාළ පුද්ගලයා ගමන්කර තිබූ වෙළෙඳසැල් 6ක් සහ නිවාස 6ක පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට හොරණ මහජන පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් අද වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 52 කි.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී. සිංහබාහූ මහතා සඳහන්කළේ දැනට හුදකලා කරඇති මතුගම ප්‍රදේශයේ ගම්මාන 03ට අමතරව දිස්ත්‍රික්කයේ තවත් නිවාස 400ක් පමණ ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බවය.

බලපිටිය ප්‍රදේශයේ ද වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ මව, පියා සහ ඔහුගේ භාර්යාවටද කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා වූ පුද්ගලයින් පසුගියදා ගමන් කළ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 40 දෙනෙකු මේ වනවිට නිරෝධානය සඳහා යොමුකර ඇති අතර ඒ අතරට බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද අයත් ය.

අද හඳුනාගත් ආසාදිතයන් 109 දෙනාත් සමගින් මේ වනවිට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2451 දක්වා ඉහළ ගොස් තිබේ.

එම ආසාදිතයන් 109 දෙනා අතරට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැලෙන් හඳුනාගත් 49 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් 37 දෙනකු සහ මිනුවන්ගොඩ කර්මාන්තශාලවේ සේවකයන්ගේ ආශ්‍රිතය්න 23 දෙනකු අයත් ය.

මේ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5920ක් වනඅතර 2406 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

ඒ අතර සුවය ලැබූ සංඛ්‍යාව 3501කි.