තැන තැන හමුවූ කොවිඩ් රෝගීන් - දංකොටුව කර්මාන්ත ශාලාවක 52ක් ආසාදිතයි

Report
6Shares

දංකොටුව කටුකෙන්ද ප්‍රදේශයේ පෞද්ගලික මත්ස්‍ය කර්මාන්ත ආයතනයක සේවක සේවිකාවක් 52කට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඔවුන්ට වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ ව තවදුරටත් ආවේක්ෂණ කටයුතු සිදුකරන බව ප්‍රදේශය භාර උසස් සෞඛ්‍ය නිලධාරියෙකු සඳහන් කළේය.

දංකොටුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අමිල ගුණවර්ධන මහතා සඳහන් කළේ මෙම කම්හලේ සේවය කරන 184 දෙනෙකුගේ අහඹු පීසීආර් පරීක්ෂණ මගින් මෙම ආසාදිතයින් හඳුනාගත් බවය.

මෙම කම්හලේ දෛනිකව සේවක සේවිකාවන් 200 දෙනෙකු පමණ සේවය කරන අතර ඉන් බොහෝ දෙනෙකු ප්‍රදේශයේ තාවකාලික නවාතැන්වල රැඳී සිටින අය බව සඳහන් වේ.

මේ අතර, ඇහැළියගොඩ දිවුරුම්පිටිය ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයෙන් තවත් කොවිඩ්-19 ආසාදිතයින් 34 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබේ.

නව ආසාදිතයින් 34 දෙනා හඳුනාගෙන ඇත්තේ එහි සේවක සේවිකාවන් 105 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණවලදීය.

ඔවුන් ඇහැලියගොඩ, කිරිඇල්ල, දිවුරුම්පිටිය, ඉද්දමල්ගොඩ, මාරඹේ, අවිස්සාවේල්ල, බෝපැත්ත, උලද්දුව හා රත්නපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.

මේ අතර ගිනිගත්හේන, හැටන් සහ නෝටන් බ්‍රිජ් යන ප්‍රදේශවලින් තවත් කොවිඩ් ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන තිබුණි.

ඒ අතරට, මීට පෙර කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් හැටන් වටවල කුයිල්වත්ත දමිළ විද්‍යාලයේ 12 වන වසරේ සිසුවාගේ මිත්තණිය ද වන බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.