කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය එන දිනය ජනපති කියයි...

Report
7Shares

රටේ ස්වෛරීභාවයට හානිවන ආකාරයෙන් කිසිදු සම්පතක් වෙනත් රටකට දෙන්නේ නැහැ

රට ගැන වැරදි මතයක් ලෝකයට දෙන්නෙත් නැහැ ....

ආයතනවල දූෂණ හා අක්‍රමිකතා නතර කිරීමට දැඩි තීරණ ගන්න වෙනවා ....

ඉන්දීය රජය නොමිලේ දෙන කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය 27 බදාදා දිවයිනට ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයන් එන්නත් කිරීම පසුදිනම (28) ආරම්භ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඉන්දියාව, චීනය සහ රුසියාව සමග දැනටමත් සාකච්ඡා කර ඇති පරිදි අවශ්‍ය එන්නත් ප්‍රමාණය කඩිනමින් ගෙන්වා ගැනීමට සියලු පියවර ගෙන ඇතැයි ද ඔහු පැවැසීය.

අද (23) පෙරවරුවේ කලුතර, වලල්ලාවිට, යට්ටපාත ග්‍රාමයේ පැවති “ගම සමග පිළිසඳර” හත් වැනි වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ජනතා ප්‍රශ්න විමර්ශනයට පෙර රැස්ව සිටී පිරිස ඇමතූ ජනාධිපති රාජපක්ෂ මහතා වර්තමානයේ සමාජයේ කතා බහට බඳුන්ව ඇති මාතෘකා කිහිපයක් පිළිබඳව රජයේ ස්ථාවරය සාධක සහිතව පැහැදිළි කළේය.

කොළඹ වරාය, නැගෙනහිර පර්යන්තය පිළිබඳව සිදුවන කතිකාව ගැන අවධානය යොමු කළ ඔහු පසුගිය රජය නැගෙනහිර පර්යන්තය විෂයය කොට ගෙන ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇතැයි පෙන්වා දුන්නේය.

රාජ්‍යයන් දෙකක් අතර අත්සන් තබා ඇති ගිවිසුමක් අත්තනෝමතිකව අහෝසි කිරීමට නොපිළිවන. පසුගිය රජය පිළිගෙන තිබූ MCC ගිවිසුම සම්බන්ධ සිය රජයේ පිළිවෙත අමරිකානු රජයට පැහැදිලි කර දෙනු ලැබීය. ගිවිසුම්වලට එළඹීමේ දී රටේ ස්වෛරීභාවයට හානිවන අයුරින් කිසිදු සම්පතක් වෙනත් රටකට නොදෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඉන්දියාවේ කළ පළමු චාරිකාවේ දී නැගෙනහිර පර්යන්ත ගිවිසුම ගැන මෝදි අග්‍රාමාත්‍යතුමා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පැහැදිළි කර දුන් බව ජනාධිපතිවරයා කීය.

නැගෙනහිර පර්යන්තය යනු කුමක්ද සහ එහි කාර්ය භාරය කවරේද යන්න විස්තර කළ ජනාධිපතිවරයා නැගෙනහිර පර්යන්තයේ ප්‍රධාන ආදායම් මූලාශ්‍රය ප්‍රති අපනයන ක්‍රියාවලිය බව පෙන්වා දුන්නේය.

ප්‍රතිඅපනයන 66%කටම දායක වන්නේ ඉන්දියාවයි. එබැවින් නැගෙනහිර පර්යන්තය සංවර්ධනයෙන් සපුරා ගැනීමට අපේක්ෂා කරන ව්‍යාපාරික කාර්යය අවබෝධ කොටගෙන ඉදිරි පියවර සැලසුම් කළයුතුය.

ආයෝජන වැඩසටහන යටතේ පර්යන්තයේ පරිපාලනය සහ 51%ක කොටස් හිමිකම ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වේ. ඉතිරි 49%ක කොටස් ආයෝජනයට ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාවේ සමාගම් කිහිපයක් ඉදිරිපත්ව සිටී.

ජනතාව තමා බලයට පත් කළේ විශාල බලාපොරොත්තු රැසක් ඇතිව බවත්, වැඩකරනවා මිස ඝෝෂා කිරීම තම ක්‍රමය නොවන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. ඉතිරිව ඇති සිව් වසරක කාලය තුල ජනතා අපේක්ෂා මල් ඵල ගැන්වීමට කැපවන බව ද ඔහු අවධාරණයෙන් කීය.

රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව නැති කිරීම ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමකි. රේගුවේ අකාර්යක්ෂමතාව සහ දූෂණය පිටුදැකීමට පියවර රැසක් ගෙන තිබේ. එය සාර්ථක කර ගැනීමට බාධාවක් වන සියලුම නිලධාරීන් ඉවත් කර හෝ අකාර්යක්ෂමතාව සහ දූෂණය නතර කරන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

සියලු රාජ්‍ය ආයතනවල හොඳ නිලධාරීහූ ද සිටිති. දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කරන ලෙස ඔවුන් ද තමාගෙන් ඉල්ලා සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන් නඩත්තු වන්නේ මහජන මුදලින් බව සිහිපත් කළේය. තමා භාරගත් කාර්යය මැනවින් ඉටු කළ නිසා ජනතාව මන්ත්‍රී ධූර 150ක පාර්ලිමේන්තු බලයක් තමාට ලබාදුන් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉඩම් ගැටළුවලට සවන් දුන් රාජපක්ෂ මහතා නිසි අයුරින් මැනුම් සිදුකර ඉඩම් ඔප්පු ප්‍රදානය කඩිනම් කළයුතු බව කීය.

“කිසිඳු වත්කමක් නැති අය කලක සිට යම් ඉඩමක පදිංචිව සිටින්නට හෝ වගා කරන්නට හෝ පිළිවන්. එවැනි අවස්ථා හොඳින් අධ්‍යයනය කොට ඉඩම් අයිතිය ලබා දීම කළ යුතුයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් සඳහා ඔප්පු නිකුත් කිරීම ඉදිරි මාස 06 ඇතුළත අවසන් කළයුතුයි”, නිලධාරීන්ට උපදෙස් දෙමින් ජනාධිපතිවරයා පැවසීය.

නීති රීති සම්පාදනය කොට ඇත්තේ ජනතාවගේ හිත සුව පිණිසය. එබැවින් ජන ජීවිතය පහසු කිරීමේ අභිප්‍රාය ඇතිව නීති රීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් අවධාරණය කරනු ලැබීය.