වරාය වර්ජනය තවදුරටත්

Report
වරාය වර්ජනය තවදුරටත්
0Shares

වර්ජනයේ නිරත වරාය සේවකයින්ට එරෙහිව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ. ඒ අනුව, වරාය පිවිසුම් මාර්ග සහ ඒ අවට මාර්ග අවහිර කිරීම වළක්වමින් එම අධිකරණ විසින් නියෝගය නිකුත් කර තිබේ.

මේ අතර, කොළඹ වරාය වෙත කන්ටේනර් රථ සඳහා ඇතුළුවීමට "හර්තාල් පාලම" අසළින් දමා ඇති අවහිරය ඉවත් කිරීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ වෘත්තිය සමිති අතර අද (01)දහවල් ශ්‍රී ලංකා වරාය සභාපතිවරයාගේ කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්වුණි.

නමුත් එය අසාර්ථක වී තිබේ. අනතුරුව, මේ සම්බන්ධයෙන් පොලීසිය අද පස්වරුවේ අධිකරණ නියෝගයක් ලබා ගත් අතර, එය විරෝධතාකරුවන්ට දැනුම්දීමට පොලීසිය පියවර ගත්තේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කරමින් ලිඛිත ප්‍රතිඥාවක් මහ මැතිවරණයට පෙර ලබා දෙන ලෙස ඉල්ලමින් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව විසින් ඊයේ (31) වැඩවර්ජනයක් ඇරඹීය.

කොළඹ වරායේ මෙහෙයුම් සඳහා චීනයෙන් ආනයනය කළ ගැන්ට්‍රි දොඹකර 3, නැගෙනහිර ජැටියට ගොඩබෑමට අග්‍රාමාත්‍යවරයා පසුගිය ජූලි 03 වැනි දා ඉඩ ලබාදුන්නේය.

කෙසේවෙතත්, නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කරන බවට ලිඛිත ප්‍රතිඥාවක් මහ මැතිවරණයට පෙර ලබා දෙන ලෙස ඉල්ලමින් කොළඹ වරායේ වෘත්තිය සමිති 23ක් පසුගිය ජූලි 29 වැනි දා අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

අනතුරුව ඊයේ (31) සිට ඔවුන් කොළඹ වරායේ සියලු රාජකාරී වලින් ඉවත් වී, කොළඹ වරායට කන්ටේනර් ඇතුළුවීම හර්තාල් පාලම අසළින් අවහිර කරමින් විරෝධතාවයක නිරතව සිටියි.

ඒ සමග වරායේ සිට දිගු කන්ටේනර් පෝලිම් වරායෙන් පිටත මාර්ගවල ද දක්නට ලැබුණි.

මෙම අර්බුදය සමථයකට පත්කිරීම සඳහා රජයේ උපදෙස් මත වෘත්තිය සමිති සමග සාකච්ඡා කිරීමට ඊයේ (31) රාත්‍රීයේ අමාත්‍ය විමල් වීරවංශ මහතා හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම ස්ථානයට පැමිණ තිබේ.

නමුත් එම සාකච්ඡා අසාර්ථ වූ පසුබිමක කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව අද (01) සිව්වැනි දිනටත් සත්‍යග්‍රහයේ නිරතව සිටින අතර, දෙවැනි දිනටත් වැඩ වර්ජනය ක්‍රියාත්මකය.