ජනපතිගෙන් නව තීරණයක්... වාහන නගරයට පිවිසීම අවම කරන්න පියවර

Report
172Shares

මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

පළමු අදියරේ වැඩ අවසන්ව ඇති මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය නිසි ලෙස නිම කර විවෘත කළ යුතුයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වාත්, පොතුහැර සිට ගලගෙදර දක්වාත් කොටස කඩිනමින් නිම කළ යුතු තවත් ව්‍යාපෘතියක් .

මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අද (14) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා මේ උපදෙස් දුන්නා.

කඩවත සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගයේ වැඩ නිම වූ පසු රථ වාහනවලට උතුර, නැගෙනහිර සහ බටහිර පළාත්වලට කඩිනමින් පිවිසීමට පිළිවන.

ජනතාවට වඩා පහසුවෙන් ගමන් බිමන් යාමට ඉඩ සැලසීම මෙහි අරමුණයි. මාර්ග පද්ධති අතර මනා සම්බන්ධතාවක් ඇති ආර්ථික කොරිඩෝවක් ඉන් නිර්මාණය වෙයි.

ඉංගිරියේ සිට රත්නපුර දක්වා මාර්ගය කඩිනමින් ඉදිකර ජාතික අධිවේගි මාර්ග පද්ධතියට එක් කෙරේ. එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුවෙන් ඇරඹේ. නුවර උමං මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීම අධික මාර්ගද තදබදයට විසඳුමක්.

දැනට අඩක් නිම කර ඇති මාර්ග සහ පාලම්වල ඉදිකිරීම් කඩිනමින් අවසන් කළයුතු බවත්, ග්‍රාමීය මාර්ග පද්ධතිය සෙසු මාර්ග පද්ධතියට සමගාමීව නවීකරණය විය යුතු බවත් ජනාධිපතිතුමා පැවැසුවා.

ගාලු පාරේ සහ කඩුවෙල, හයිලෙවල් සහ පිළියන්දල මාර්ගවල කොළඹ දෙසට උදේ සවස පවතින වාහන තදබදයට විසඳුම් සෙවීම කඩිනම් කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නා.

අධික තදබදයක් ඇති වන ස්ථාන හඳුනාගෙන ගුවන් පාලම් සහ උමං පිවිසුම් ඉදි කරනු ලැබේ. දෙමටගොඩ, වනාතමුල්ල හරහා බත්තරමුල්ල දක්වා මාර්ගය ඉදිකිරීමේ හැකියාව විමර්ශනය කළයුතුය. එමගින් බොරැල්ල සහ රාජගිරිය මංසන්ධිවල තදබදයට විසඳුමක් ලැබුනා.

ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ රථවාහන තදබදයට විසඳුම් ලෙස ගාලුපාරට සමාන්තර මුහුදු බඩ මාර්ගය (මැරයින් ඩ්‍රයිව් ) පානදුර දක්වා දීර්ඝ කිරීමට ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරුනා.

සියලු ඉදිකිරීම් සදහා දේශීය ඉංජිනේරුවන්ගේ පූර්ණ දායකත්වය ලබා ගන්නැයි ජනාධිපතිතුමා පැවසුවා.

මාර්ග ඉදිකිරීමට සමගාමීව පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතුය. මෝටර් රථවලින් නගරයට පිවිසීම අවම කිරීමට සුඛෝපබෝගී බස් රථ සහ පාසල් බස් රථ සේවාව විධිමත් කිරීම ගැන සාකච්ඡා කළා.

නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව කොළඹට පිවිසෙන රථ වාහන ගාල් කිරීමට සුදුසු ස්ථාන සැකසීම කෙරහි ද අවධානය යොමු විය. ව්‍යාපාරික ස්ථාන ස්ථාපනයේ දී වාහන ගාල් කිරීමේ පහසුකම් සැලසීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා විදුලි, ජල සහ දුරකථන මාර්ගවලට සිදුවන හානි නතර කිරීමට සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියා කළ යුතු බවට උපදෙස් දුන්නා.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආටිගල, මහාමර්ග අමාත්‍යාශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි යන මහත්වරු ඇතුළු නිලධාරිහූ හමුවට එක්ව සිටියා.

– ජනාධිපති මාධ්‍ය අංශය