කැළණි වැලි දුම්රිය මාර්ගයේ නිවාස අහිමි වුවන්ට නව නිවාස හිමිවෙයි.

Report
1Shares


තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට යෝජිත කැළණිවැලි දුම්රිය මාර්ගය ඉදිකිරීම හේතුවෙන් නිවාස අහිමි වු ජනතාවට නව නිවාස ලබාදීමට ප්‍රවාහන හා කළමණාකරණ අමාත්‍යංශය මගින් සිදුවිය.

එක් නිවාසයක වටිනාකම රුපියල් ලක්ෂ 40 ක්වන අතර නිවාස අහිමිවන ජනතාවට වන්දි වශයෙන් ඔවුන්ට පදිංචි වීම සදහා නව නිවාස ලබාදීමේ වැඩපිළිවෙලේ පළමු අදියර අද (27) ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී විදුලිබල, බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකාර ඇමති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්සිදු කෙරිණ.

මෙහිදී නිවාස අහිමි වු පවුල් 70 ක් සදහා මෙම ව්‍යාපෘතියේ පළමු අදියර වශයෙන් නිවාස හිමිකරුවන් වෙත යතුරු සහ ඔප්පු ප්‍රදානය කෙරිණ.

කැළණිවැලි නව දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ නව නිවාස ලබාදීමට සුදුසුකම් ලබා ඇති පවුල් ගනන 274 කි. ඒ සදහා මේ වනවිට නිවාස 354 කින් සමන්විත මහල් නිවාස යෝජනා ක්‍රමයක් මිලදීගෙන තිබෙන අතර එම නිවාස සංකීර්ණයේ නිවාස බෙදාදීම සිදුවිය.

යෝජිත කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල සිට මරදාන දක්වා ඉදිකිරීමට නියමිතය. එම මාර්ගය මාලපල්ල සිට මරදාන දක්වා ඉදිවන්නේ ගුවන් මාර්ගයක් වශයෙනි. අඩි 18 ක් උස කුළුණු මත ඉදිවන එම දුම්රිය මාර්ගය කිලෝ මීටර් 22 ක් දිගින් යුක්තය. මෙම දුම්රිය මාර්ගය නිසා අවතැන් වන ජනතාව නැවත පදිංචි කිරීමට අවශ්‍ය සමස්ත නිවාස ගණන 1244 කි. ඉන් දැනටමත් නිවාස 384 ක් ව්‍යාපෘතිය මගින් මිලදී ගෙන ඇත.

මෙම අවස්ථාවට සහභාගී වූ ඇමති මහින්ද අමරවීර මහතා කියා සිටියේ, තමන් උපන් ගම්බිම් අතහැර වෙනත් ස්ථාන වලට යාමට බොහෝ දෙනෙක් අකමැති නමුත් එවැනි තත්ත්වයක් තුළ මෙම ජනතාව තමන් පදිංචි ස්ථාන අතහැර මහල් නිවාසයකට පදිංචියට යාමට කැමතිවීම පිළිබදව එම ජනතාව වෙත කෘතඥතාවය හිමිවිය යුතු බවයි. තවද මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් දුම්රිය සේවය වඩාත් කාර්යක්ෂම කිරීමට කටයුතු කරන බවත්, පාඩු ලැබූ ආයතනයක් මෙන්ම සේවක වැඩවර්ජන, උද්ඝෝෂණයන් පැවති දුම්රිය දෙපාර්තමේන්තුව, ලාභදායී ආයතනයක් බවට පත්කරමින් මගී ජනතාවගේ මෙන්ම සේවක පිරිසගේ සුබ සිද්ධිය උදෙසා නවීකරණය කරන බවද ඇමතිවරයා මෙහිදී අවධාරණය කළේය. එම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරු හා තදාසන්න දුම්රිය මාර්ග ව්‍යපෘතියේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

975 total views