කරූ ගේ නායකත්වයට වජිර විරුද්ධ වෙයි.. වජිරගේ නායකත්වයට නවීන් කැමති වෙයි...රනිලුත් වජිරට එකඟ වෙයි.

Report
8Shares

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ හමුවක්, එම පක්ෂයේ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නිවසේදී අද පැවැත් වුණා.

එම හමුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, වජිර අබේවර්ධන, දයා ගමගේ, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, නවීන් දිසානායක සහ අර්ජුණ රණතුංග ද සහභාගී වී ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු පවසා ඇත්තේ පක්ෂයේ අන්තර්කාලීන නායකයා ලෙස හිටපු කථානායක කරු ජයසූරිය මහතා පත්කළ යුතු බවයි.

එහෙත්, එම යෝජනාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා එකග වී නොමැති බවයි දේශපාලන ආරංචි පැවසෙන්නේ.

එහිදී පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ද පවසා ඇත්තේ පක්ෂයට අවශ්‍ය වන්නේ නායකත්වය සඳහා සුදුසු පුද්ගලයෙකු මිස අන්තර්කාලීන නායකයෙකු නොවන බවයි.

කෙසේවෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වන්නේ නම් ඔහුට සහය ලබාදී එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා මෙහිදී අවධාරණය කර ඇතැයි දේශපාලන ආරංචි වැඩිදුරටත් සඳහන් කළා.