සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නම් කෙරේ.

Report
10Shares

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව සකස් කර අවසන් බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ නාම ලේඛනය අද (13) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිත බවයි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙම අදහස් පල කළේ, ඊයේ (12) පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07කට හිමිකම් කියනවා.

අදාළ මන්ත්‍රී ධුර පිරිනැමීමේ දී සමගි ජන බලවේගය සමග එක්ව සිටින සුළු පක්ෂවලට ද අවස්ථාවක් ලබාදිය යුතු බවට එම පක්ෂවල නායකයින් ඉල්ලීම් කිරීමත් සමග ජාතික ලැයිස්තු නම් කිරීම ප්‍රමාද වූ බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් ඊයේ පස්වරුවේ අදාළ නම් කිරිම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු, ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අය නම් කර ඇති බව සඳහන්.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නම් කිරීමත් සමග මේ වන විට මෙවර පාර්ලිමේන්තුව සඳහා ජාතික ලැයිස්තුවෙන් නම් කිරීමට ඉතිරිව ඇත්තේ මන්ත්‍රී ධූර දෙකක් පමණයි.

ඒ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුරය සහ අපේ ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ධුරයි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත් කිරීම ඊයේ දිනයේදී සිදු කෙරුණා