ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් අතරතුරදී හිටපු අගමැති බොහෝ අවස්ථාවලදී පිටව ගියා - රුවන් විජේවර්ධන

Report
1Shares

පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මෙරට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (24) සාක්ෂි ලබාදුනි.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ ඔබ සහභාගී වූ ජාතික ආරක්ෂක කවුන්සිලයකදී ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් විවෘත විමර්ශන නොකරන ලෙස එවකට ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණේ ද යන්නය.

“ඔව්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එසේ පවසා තිබුණා. ඒ කටයුතු නිලන්ත ජයවර්ධන මහතාට භාර දුන්නා,“ යැයි විජේවර්ධන මහතා පිළිතුරු ලබාදුනි.

මෙහිදී ජනාධිපති කොමිසම සාමාජික විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු විමසා සිටියේ ජනාධිපතිවරයා විදෙස්ගත වූ අවස්ථාවකදී වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔබ පත්කර ගියේද යන්නය.

“පාස්කු ප්‍රහාරයට පෙර එක වරක් විතරයි එතුමන් විදෙස් ගතවන විට මා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කර තිබුණේ. අනිත් අවස්ථා දෙක තුනම මා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කළේ පාස්කු ප්‍රහාරයට පස්සේ. ඒ පත්කරපු අවස්ථාවලත් විදෙස් ගතවෙන්න කලින් කියලා ගියේ නැහැ. විදෙස්ගත වෙලා දවසකින් දෙකකින් තමයි Fax මාර්ගයෙන් දැනුම්දෙන්නේ. පත්වීමට අදාළ අක්තපත්‍රය ලැබෙද්දි එතුමා නැවත ලංකාවට ඇවිල්ලා ඉවරයි.“යැයි විජේවර්ධන මහතා පිළිතුරු ලබාදුනි.

එහිදී ජනාධිපති කොමිසම සභාපති විනිසුරුවරයා විමසා සිටියේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගී වූ බොහෝ අවස්ථාවලදී ඔහු අතරමැද ද, පිටවී ගියේ යැයි සාක්ෂිකරුවන් බොහෝ දෙනෙක් සඳහන් කර ඇත්නම් ඔබ එය පිළිගන්නේද යන්නය.

“ඔව් ස්වාමීනි මම එය පිළිගන්නවා අගමැතිතුමා බොහෝ අවස්ථාවලදී පිටව ගියා“ යනුවෙන් විජේවර්ධන මහතා පිළිතුරු දුනි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ “ජනාධිපතිවරයා නැති අවස්ථාවක ත්‍රිවිද හමුදාව කැඳවන්න අගමැතිවරයාට බලයක් තිබුණත් ජනාධිපතිවරයා තමන් නැති අවස්ථාවක අගමැතිවරයා කැඳවීමක් කළහොත් ඔහු හමුවීමට නොයන ලෙස ත්‍රිවිධ හමුදාපතිවරුන් දැනුවත් කර තිබුණා,“ යනුවෙනි