සමෘද්ධි ,වැඩිහිටි දීමනා, මහජනාධාර හා අත්‍යාවශ්‍ය ආහාර පාන කඩිනමින් -ගම්පහ කොවිඩ් රෝගීන් 1589 ක්?

Report
 සමෘද්ධි ,වැඩිහිටි දීමනා, මහජනාධාර හා අත්‍යාවශ්‍ය ආහාර පාන කඩිනමින් -ගම්පහ කොවිඩ් රෝගීන් 1589 ක්?
1Shares

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සමෘද්ධි, වැඩිහිටි දීමනා, මහජනාධාර හා විහාරස්ථාන ඇතුළු ආගමික සද්ධස්ථාන ,පිරිවෙන් ,වැඩිහිටි ළමා නිවාස සදහා අත්‍යාවශ්‍ය ආහාර පාන කඩිනමින් ලබා දීමට පියවර ගන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දෙයි.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (17) පැවති රැස්වීමකදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශ වල ජනතා අවශ්‍යතා ඉටුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා රැස්වීමක් කැදවා තිබුණි.

ගම්පහ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක මිගාර යාපා මහතා මෙහිදී කියා සිටියේ මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ කෝවිඩ් රෝගීන් 1589ක් හදුනාගෙන ඇති බවයි. ක්ෂේත්‍රයන් 1290ක් හා රෝහල් වලින් 229ක් ලෙස මෙම පිරිස හදුනාගෙන තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ පසුගිය සිකුරාදා දක්වා සිදු කර ඇති පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව 21225ක් ඉන් 19413 ක්ම සිදු කර ඇත්තේ ක්ෂේත්‍රයෙනි. කටුනායක නිදහස් වෙළද කලාපය ආශ්‍රිතව පසුගිය සිකුරාදා වන විට කොවිඩ් රෝගීන් 152 හදුනාගෙන ඇති අතර

දිස්ත්‍රික්කයේ වෙනත් කාර්මානත ශාලා ආශ්‍රිතව රෝගීන් 18 දෙනෙකු හදුනාගෙන ඇතැයිද ගම්පහ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මෙහිදී අනාවරණය කලේය.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ බස්නාහිර ප්‍රාදේශය භාර අඥාපති මේජර් ජනරාල් චූලා අබේනායක මහතා මෙහිදී සදහන් කළේ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් හදුනාගත් ආසාධිතයන්ගේ සමීපතමයන් සියළුම දෙනා මේ වන විට නිරෝධායන මධ්‍යස්තාන වෙත යොමු කර ඇති බවයි. ඔවුන්ට අවශ්‍ය පහසුකම්ද සැලසීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවත් නිරෝධායන මධ්‍යස්ථාන වලින් හමුවන ආසාධිතයන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු කීවේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 2781ක් මේ වන විට සිය නිවෙස් තුළම නිරෝධායනය සදහා යොමුකර ඇතැයි දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා මෙහිදී කීවේය. ඉන් වැඩිම පිරිසක් ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේයි. පවුල් 876ක් මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ සිය නිවාස තුලම නිරෝධායනයට යොමුකර ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා මෙහිදී කීවේය. එම පවුල් වෙත ආහාර හා ඖෂධ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සදහා රුපියල් මිලියන 05ක්ද වෙන් කර තිබේ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේ නිරෝධායනය වන සියලුම පවුල් වලට මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දිය යුතු බවයි. ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇමතිවරයා ප්‍රාදේශිය ලේකම්වරුන්ගෙන් මෙහිදී ඉල්ලා සිටියේය. දිස්ත්‍රික්කයේ සමෘද්ධි, වැඩිහිටි දීමනා, මහජනාධාර කඩිනමින් ලබා දීමට පියවර ගන්නා ලෙසද ඇමතිවරයා දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේ. සමෘද්ධි දීමනාව ලබා දීම සදහා රුපියල් මිලියන 284.65ක් මේ වන විට වෙන් කර ඇතැයි මෙහිදී අනාවරණය විය.

ඒ අනුව පවුල් 1,37,416ක් සදහා සමෘද්ධි දීමනාව කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂකවරයා මෙහිදී කියා සිටියේය.

මේවන විට දිස්ත්‍රික්කයේ විශේෂ ආරක්ෂිත ගම්මාන ලෙස හදුනාගෙන සංචරනය සීමා කර ඇති ප්‍රදේශ වල වෙසෙන ජනතාව සදහා අත්‍යවශ්‍ය ආහාර පාන ලබා දීමේ යාන්ත්‍රණය විධිමත් කරන ලෙසද ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එම ප්‍රදේශ වලජනතා අවශ්‍යතා ඉටුකිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද තීරණය කෙරිණි