ආයෝජන මණ්ඩලය ආයතන තුළ පමණක් PCR පරීක්ෂණ 15,000 ක්?

Report
ආයෝජන මණ්ඩලය  ආයතන තුළ පමණක් PCR පරීක්ෂණ 15,000 ක්?
1Shares

කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීමෙන් පසු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්තශාලා වල පමණක් පසුගිය දින කිහිපය තුළදී PCR පරීක්ෂණ 15000කට වැඩි ප්‍රමාණයක් සිදු කර අවසන් බව ගුවන්තොටුපළ හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසයි.

මෙහිදී ආයෝජන කලාප තුළ දසදහස ඉක්මවමින්ද ඉන්පිටත පන්දහස ඉක්මවමින්ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව සෑම කම්හලක්ම ආවරණය වන පරිදි සේවකයන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන ඇත. සේවක සුරක්ෂිතභාවය පවත්වාගෙන යාමටත් නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම තම අමාත්‍යාංශයේ පූර්ණ අවධානය යොමුව ඇතැයි ඒ මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වු රාජ්‍ය අමාත්‍යවරයා,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කොවිඩ් අවධානමට මාස කිහිපයකටම පෙර සිටම ‍මෙවැනි අවදානම් තත්ත්වයක් ඇති වුවහොත් ඊට සූදානම් වූ බවද පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය පරීක්ෂාණායතනය, මහජන සෞඛ්‍ය නිළධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක් කරගනිමින් සෑම ආයෝජන කලාපයකම සෞඛ්‍ය ආරක්ෂිත වැඩ සටහන් ක්‍රියාත්මක කල බව හෙතෙම පවසයි. කර්මාන්තශාලා වල මානව සම්පත් කළමණාකරුවන්ට සියලු සේවකයන්ගේ ජීවදත්ත යාවත්කාලීන කරන ලෙස දැනුම් දී තිබිණි. එසේම කම්හල් තුළ කුඩා කණ්ඩායම් වශයෙන් වැඩකිරීම, සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම, කලාපයෙන් බැහැරව සිටින අවස්ථාවේ සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම වැනි අංශයන් පිළිබඳව නියාමනයන් හා දැනුවත් කිරීම් මෙම වැඩසටහන් හරහා සිදු කෙරිණි.

කොවිඩ් අවධානමෙන් රට මුදා ගන්නවා මෙන්ම ආර්ථිකය සතුට දායකව පවත්වාගෙන යාමත් තම අමාත්‍යාංශය කැප වන බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා. අපනයන ආදායම ඉහල නංවා ගැනීම තම අපේක්ෂාව බවද පවසයි.

2019 වසරේ මෙරට මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 11.8කි. ඉන් 70%ක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලාවලින් සිදු කළ අපනයන්ය. කර්මාන්තශාලා 1800ට වැඩි ප්‍රමාණයක් මෙම අපනයන නිශ්පාදනයන්ට දායක වේ. එම ආයතන තුළ ලක්ෂ 5ට වැඩි ශ්‍රම බලකායක් සේවය කරති. පවතින අර්බුදය හමුවේ වූවද පසුගිය මාස තුන තුළ මසකට ඩොලර් බිලියන 1ට වැඩි අපනයන ආදායමක් ඉපයීමට අපට හැකි විය. එය රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණයකි. අනෙක් රට වල ඇණවුම් පවා මෙරටට ලැබුණි. ලෝකයේ පවතින මෙම අර්බුද අවස්ථාව තුළ අප රටට වාසි අත්කරගත හැකි ලෙස උපායශීලී විය යුතු බවද ඩී වී චානක මහතා වැඩි දුරටත් පැවසුවේය.