පුරාවස්තු ආරක්ෂාවට ජනාධිපති කාර්ය සාධක බලකායක්.

Report
1Shares

නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

පුරාවස්තු විනාශය පිළිබඳව විවිධ පාර්ශවයන් කරුණු ඉදිරිපත් කර තිබෙන අතර මේ සියල්ල සැලකිල්ලට ගෙන ඓතිහාසික ස්ථාන කේන්ද්‍රකර ගනිමින් ඒවා ආරක්ෂා කර ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහයෙන් ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබේ.

සෑම මසකම තුන්වැනි සිකුරාදා රැස්වන බෞද්ධ උපදේශක සභාව දෙවන වරට අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අතර එහිදී මහා සංඝරත්නය අමතා ජනාධිපතිවරයා මේ බව පැවසීය.

බුදු දහමට සහ ත්‍රිපිටකයට පටහැනි ඇතැම් භික්ෂු ක්‍රියාකාරකම් නිසා ශාසන කතිකාවතක අවශ්‍යතාව පිළිබඳව මහා සංඝරත්නය දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා දැනුවත් කළා.

ඒ ගැන ගත යුතු ක්‍රියාමාර්ග සහ යෝජනා ඉදිරිපත් කළහොත් තම ධූර කාලයේ දී ඊට අවශ්‍ය පිළියම් යෙදිය හැකි බව ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර ලොව සියලු රටවල් කොවිඩ් 19 අභියස දරුණු ලෙස ඇද වැටෙමින් ඇති අවස්ථාවක රටේ සමස්ත ජනතාව රැක ගනිමින් ජනාධිපතිතුමා ඉටු කරන මෙහෙවර මහා සංඝරත්නයේ ප්‍රශංසාවට ලක් වුණා.

මහා සංඝරත්නය දැනුවත් කළ ජනාධිපතිතුමා අප්‍රේල් මස 30 වැනිදාට පසු සමාජය තුළින් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු හමු නොවීම සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බව පෙන්වා දුන්නා.

පිරිවෙන් සහ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින තත්වය බෞද්ධ උපදේශක සභාවේ දීර්ඝ සාකච්ඡාවට ලක් වන්නට විය.

සාහිත්‍යය සහ ඉතිහාසය විෂයන් අධ්‍යාපන ධාරාවෙන් ඉවත් කිරිමට ඇතැම් වකවානුවල පියවර ගත් බව මහා සංඝරත්නය පෙන්වා දුන්නා.

තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලිකත්වය සහ ප්‍රමුඛත්වය අධ්‍යාපනයට දී ඇති බව කී ජනාධිපතිවරයා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ මූලික වැඩ දැනටමත් අරඹා ඇති බව සඳහන් කළා.

රට පුරා පැතිර ඇති මත්ද්‍රව්‍ය උවදුර මර්දනයට පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව මහා සංඝරත්නය අවධාරණය කළ අතර ඊට රජයට මෙන්ම මහා සංඝරත්නයටද විශාල වගකීමක් ඇති බව උන්වහන්සේ පැවසූහ.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායකඅතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි,මල්වතු විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරීආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල, මල්වතු විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද,රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍යපල්ලේගම හේමරතන,අමරපුර ධර්මරක්ෂිත පාර්ශ්වයේ මහානායකඅතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මැටරඹ හේමරතන,සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපතිමහාචර්ය කුඹුරුගමුවේ වජිර යන හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය මේ අවස්ථාවටවැඩම කර සිටියහ. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ද මෙම සාකච්ඡාවට එක් විය.