5 හැවිරිදි තම දරුවාට බියර් පෙවූ පියාට වැඩ වරඳීයි.

Report
1Shares

පියකු විසින් තම අවුරුදු 5ක් වූ බාලවයස්කාර පුතුට බියර් පොවා කෘෘරත්වයට පත් කිරීමේ චෝදනාවට නාවලපිටිය පොලිසිය මඟින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවලපිටිය කඩියන්ලන ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු තිස් හැවිරිදි දෙදරු පියකු බවයි පැවසෙන්නේ.

මොහු මිතුරන් හා මෙම දරුවා සමඟ මහවැලි ගඟට ගොස් මත්පැන් සාදයක් පවත්වා එහිදී මෙම බාලවයස්කාර දරුවාට බියර් පොවා තිබේ.

එහිදී එම ක්‍රියාව තව අයකු ඔහුගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති අතර මත්පැන් පෙවීම නිසා මත් වී ඇති දරුවාට නැඟිට ගැනීමට නොහැකිව ගල් තලාවක වැතිර සිටින දර්ශන එහි ඇතුළත් වී තිබේ.

මේ පිළිබඳව නාවලපිටිය පොලිසිය වෙත දැනගන්නට ලැබී පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා වහාම මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු යෙදූ අතර අදාල සැකකරු ඊයේ (21දා) දින නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.