අද ජනපති කොමිසම හමුවට පාස්කු ප්‍රහාරයට ලක්වූ හෝටල් කිහිපයක නිලධාරීන් කැඳවයි....

Report
1Shares

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනපති කොමිසම වෙත අද ප්‍රහාරයට ලක්වූ හෝටල් කිහිපයක නිලධාරීන් කැඳවා තිබෙනවා.

මේ අතර, පාස්කු ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ මෙරට නිෂ්පාදනය කළ බෝම්බ බව ජනාධිපති කොමිසම හමුවේ හෙළි වුණා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජී.වයි. ස්වර්ණකීර්තිසිංහ ඊයේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදීයි.

ඔහු කිංස්බරි හෝටලයේ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු භාරව සිටියා.

අදාළ බෝම්බ ප්‍රහාරය පිළිබඳ තමන් දැනුවත් වූයේ එදින උදැසන සමාජ මාධ්‍යවලින් බවත්, එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ උපදෙස් මත අපරාධය සිදුවූ ස්ථානයට ගිය බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ පවසා සිටියා.

පරීක්ෂණ කටයුතු අවසන්දැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසූ අවස්ථාවේ ඔහු පවසා සිටියේ තවමත් පරීක්ෂණ කටයුතු සිදුවන බවයි.

කොමිසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියාගෙන් විමසා සිටියේ බෝම්බකරු පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආවේ කෙදිනද යන්නයි.

සාක්ෂිකරු එහිදී පවසා සිටියේ 20 වැනි දින රාත්‍රියේ බෝම්බකරු පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට ආරක්ෂිත කැමරා දර්ශනද සාක්ෂි දරන බවයි.

ඔහු එදින රාත්‍රියේ හෝටලයෙන් පිටත්වී කොළොන්නාව ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ මිලදීගෙන කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි කුලී නිවසක ජීවත්වූ සිය බිරිඳට සහ දරුවාට ඒවා ලබා දී පැමිණ ඇති බවයි කොමිසම හමුවේ සාක්ෂිකරු හෙළි කළේ.

ඔවුන්ගේ තොරතුරු ද ඔහු කොමිසමට හෙළි කළා.

බෝම්බකරු පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම්ගේ රියදුරු ලෙස අවස්ථා කිහිපයකදී කටයුතු කර ඇති බවත්, 2019 අප්‍රේල් 16 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේ වූ යතුරුපැදිය පිපිරීමේ සිද්ධියටද ඔහු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.