රුපියල් කෝටි 16ක කුඩු සල්ලි පිළිබඳ තොරතුරු එළියට - සුනාමි ත් අත්අඩංගුවේ

Report
0Shares

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන දෙස් විදෙස් මුදල් රුපියල් කෝටි 05කට අධික මුදලක් සමග පොලීසිය විසින් සැකකරුවෙක් ව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ එම සැකකරු සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04ක් තිබූ බවය.

සොයාගත් මුදල් අතර අමෙරිකානු ඩොලර් 140,000ක් ද තිබූ බව පොලීසිය පවසයි.

මෙම මුදල් දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකින් සොයාගත් බවත් අත්අඩංගුවට ගත් සැකකරු "මුන්ඩියල් ක්‍රමයට" එම මුදල් හුවමාරු කිරීමට සූදානමින් සිට ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

පොලීසිය වැඩිදුරටත් පැවසුවේ දෙමටගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන ඔහු මුදල් පොළියට දෙන පුද්ගලයෙකු ලෙස පෙනී සිටි අයෙක් බවය.

මේ අතර රුපියල් මිලියන 70ක මුදලක් බැංකු ගිණුමකින් හුවමාරු කළ පුද්ගලයෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

බස්නාහිර බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත අද (01) සිදුකළ වැටලීමක දී පුද්ගලයන් තිදෙනෙකු වැලිකඩ දී අත්අඩංගුවට ගැණුනි.

වැලිකඩ පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවෙකු පවසා ඇත්තේ, තම ගිණුමේ රුපියල් ලක්ෂ 700ක් පමණ ඇති බවත් විදෙස් රටවලින් පැමිණෙන දුරකථන ඇමතුම් මත එම මුදල් විවිධ පුද්ගලයන්ට ලබා දෙන බවය.

පසුව එම ගිණුමෙන් මුදල් හුවමාරු කළ තවත් ගිණුම් 4ක තොරතුරු අනාවරණය කරගෙන එම ගිණුම් හිමියන් ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගත්තේය.

එම ගිණුම්වල ද තිබී රුපියල් කෝටි 04ට අධික මුදලක් සොයාගත් බව පොලීසිය පවසයි.

මෙම මුදල් ද මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට පොලීසිය සැක කරයි.

මේ අතර රත්නපුර නගරයේ "ඊසි කෑෂ් ක්‍රමයට" හෙරොයින් ජාවාරම් කළ ප්‍රධාන පුද්ගලයා ඊයේ (31) පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 09කට අධික ප්‍රමාණයක් සොයාගත් අතර ඔහු ජංගම දුරකථන 03ක් උපයෝගී කරගනිමින් මෙම ජවාරම සිදුකර තිබේ.

මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කඳාන පොලීසිය විසින් සිදුකළ මෙහෙයුමක දී හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

එහිදී ඔවුන් සතුව තිබී මත්කඩු ග්‍රෑම් 50කට අධික ප්‍රමාණයක් හා මුදල් රුපියල් 150,000 ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර අංගොඩ ලොක්කාගේ බවට පැවසෙන වැලි තොටුපලක් පවත්වාගෙන ගිය බව කියන 25 හැවිරිදි "රංග දුනිඳු දුල්ෂාන්" අමරසිංහ නොහොත් "සුනාමි"ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුල්ලේරියාව, කැලනි නදී මාවත ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මොහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වැලි තොටුපල ආසන්නයේ උණ පදුරක් අසළ සඟවා තිබූ කඩුවක් හා බෝම්බයක් ද සොයාගෙන තිබේ.