මාධ්‍යට විවෘත නොවූ ෆාතිමාගේ සාක්ෂිය

Report
14Shares

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙයවූ සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියාගෙන් සාක්ෂි විමසීමට ජනාධිපති කොමිසම අද තීන්දු කළේය.

ඇය අද (23) දෙවන දිනටත් පාස්කු කොමිසම හමුවට ඉදිරිපත් කෙරුණු අතර එම සාක්ෂි විමසුම මාධ්‍යට විවෘත කෙරුණේ නැත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ බිරිඳ ඊයේ (22) පළමුවරට ජනාධිපති කොමිසම හමුවට කැඳවනු ලැබීය.

නමුත් ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණයේ නීතීමය කටයුතු සිදුවන බැවින් කොමිසමේදී ඇයගෙන් සාක්ෂි විමසිය හැකිද යන්න පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුව ගැටලුවක් මතු කළ අතර ඒ නිසා ඊයේ ඇයගෙන් සාක්ෂි සටහන් කර ගැනුණේ නැත.

ඇයගෙන් සාක්ෂි සටහන් කරගන්නේද නැද්ද යන තීන්දුව පසුදින ප්‍රකාශයට පත්කරන බව කොමිසම ඊයේ ප්‍රකාශ කළේය.

සයින්දමරුදු පිපිරීමෙන් දිවි ගලවා ගත් ඇය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එතෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියාය.

එම රැඳවුම් නියෝගයේ කාල සීමාව අවසන් වීම නිසා ෆාතිමා හාදියා ඊයේ පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ලබන මස 04 වැනිදා තෙක් ඇය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

එමෙන්ම අධිකරණය නියෝග කළේ සැකකාරිය අද ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙසය.

ඒ අනුව, අද ඇය බන්ධනාගාර නිලධාරින් විසින් කොමිසම වෙත රැගෙන එනු ලැබීය.

ඒ අනුව ජනාධිපති කොමිසම තීරණය කළේ ෆාතිමා හාදියාගෙන් සාක්ෂි විමසීම ආරම්භ කිරීමටය.