තවත් දිස්ත්‍රික්කයක නගර කිහිපයක් හුදෙකලා කෙරේ

Report
9Shares

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි මල්වල, ඇඹුල්දෙනිය ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් හුදෙකලා කිරීමට රත්නපුර සෞඛ්‍ය බලධාරීන් සහ ඉහළ රාජ්‍ය බලධාරීන් විසින් තීරණය කොට තිබෙනවා.

ඒ අනුව අද උදෑසන සිට ගම්මාන කිහිපයකට සංචරණ සීමාවන් පනවා තිබෙන බවයි අප නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

කනේගල්ල කුරුවිට මාර්ගය, රත්තුරුගල මාර්ගය මේ වන විට තාවකාලිකව වසා දමා ඇති බවයි රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරියෙකු සඳහන් කළේ. මිට අමතරව එගොඩ සිරිපාගම, උතුරු ගිලිමලේ, දකුණු ගිලිමලේ, කැටවල, මාපලාන යන ගම්මාන හුදෙකලා කිරීමටද තීරණය කොට ඇත.

ඊයේ දිනය තුළ ලද PCR පරීක්ෂණ වාර්තාවන් අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් සිව්දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇත. මාළු ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා හැරුණු විට ඇහැලියගොඩ ප්‍රදේශයේ තවත් එක් පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි සබරගමුව සෞඛ්‍ය අංශ බලධාරීන් සඳහන් කරන්නේ.