මී ගවයින් මරා හිස් මහමග දමා යයි

Report
3Shares

ලෝක උරුම නකලස් වන භූමියේ නිදැල්ලේ සිටි මී ගවයින් දෙදෙනෙකු ඝාතනය කර, උන්ගේ හිසෙහි කොටස් පිටවල පතන හා රිවස්ටන් මුදුන ආශ්‍රිතව මාර්ග අසල දමා තිබිය දී සංචාරකයන් පිරිසකට හමුවී තිබෙනවා.

මීට අමතරව පිටවල පතන ආශ්‍රිතව තවත් ගවයින් දෙදෙනෙකු හා අවට පිහිටි ගම්මානයක තවත් ගවයෙකු වශයෙන් මේවනවිට මී ගවයින් 05 දෙනෙකු ඝාතය කර ඇති බවටයි තොරතුරු අනාවරණය වන්නේ.

කලින් කලට සිදුවන නකල්ස් වන භූමියේ සත්ව ඝාතනයන් සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කළාප භාර වන නිලධාරි එම්.සී. ඉළුක් කුඹුර මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ වසරකට පමණ පෙර වාර්තා වූ ගව ඝාතන සිදුවීම් හැරුණු විට නව තත්ත්වයන් පිළිබදව මේ වන විට වාර්තා වන බවයි.

කෙසේවෙතත් නකලස් කළාපයේ වන සතුන් දඩයම සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් පසුගිය සමයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බවයි ඉළුක් කුඹුර මහතා අවධාරණය කළේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වු නම සදහන් කිරිමට අකමැතිවු ඝාතනය වු ගවයින් දෙදෙනෙකුගේ හිමිකරුවෙකු කියා සිටියේ නකලස් වන පෙත තුළ කලක් තිස්සේ සිදුවන ගව ඝාතනයන් සම්බන්ධයෙන් වග කිවයුතු කිසිවෙකුත් නොමැති බවයි.

සී සා අවසන් වී සති දෙකක් පමණ ගතවී ඇති මොහොතක සිය ගවයින් දෙදෙනෙකු මස් පිනිස ඝාතනය කර ඇති බවත් මේ සම්බන්ධයෙන් වග කිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතු බවයි කියා සිටි ඔහු අවධාරණය කර සිටියේ.