අසාධ්‍ය කොරෝනා රෝගීන් 25ක් දැඩි සත්කාර ඒකකයේ...තත්ත්වය අවධානම්.

Report
98Shares

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බරපතළ ලෙස රෝගී වූ රෝගීහු විසිපස් දෙනෙක් ඊයේ (21) සවස් වන විට ප‍්‍රතිකාර සඳහා රෝහල් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර සිටී.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බරපතළ ලෙස විවිධ සංකූලතා ඇතිවීම නිසා ඔවුන් මෙසේ දැඩි සත්කාර ඒකක වෙත ඇතුළත් කෙරුණු බව සෞඛ්‍ය අංශ ප‍්‍රකාශකයෙක් පැවසීය.

ඒ අතරින් කිහිප දෙනකුම කොරෝනා වෛරසය වැළඳීමෙන් ඇතිවූ නිව්මෝනියා තත්ත්වයට පත්ව සිටින බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝගීව මෙරට රෝහල් තුළ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 769 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව ඊයේ (21) පස්වරු 5.00 වන විට වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුව මේ දක්වා මෙරට තුළ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ රෝගීන් ගණන හතළිස් අටදහසේ සීමාවට ළඟාවෙමින් 47984 ලෙස සඳහන් විය.

පවතින වසංගත තත්ත්වයත් සම`ග ඉකුත් දොළොස් වැනිදා ශී‍්‍ර පාද වන්දනාවේ ගිය ගාල්ල ප‍්‍රදේශයේ ප‍්‍රකට පාසලක රගර් කණ්ඩායමේ කී‍්‍රඩකයන් සිව් දෙනකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ අනාවරණය විය.

පාසල් රගර් කණ්ඩායමේ සිසුන් සිය දෙමාපියන්ද සමඟින් ශී‍්‍ර පාද වන්දනාවේ ගොස් නුවරඑළිය ප‍්‍රදේශයේද සංචාරය කර නැවත පැමිණීමෙන් පසුව එක් සිසුවකුට සිදු කළ පී. සී. ආර්. පරීක්‍ෂණයේදී කොරෝනා ආසාදිත බවට අනාවරණය වීම නිසා පසුව සිදු කළ පී. සී. ආර්. පරීක්‍ෂණවලදී මේ බව හෙළිවී ඇත.

මෙම වන්දනා චාරිකාවට එක්වූ එක් සිසුවකුගේ මවකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබෙන බව ගාල්ල ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරියෙක් සඳහන් කළා.