ලංකාවේ යුද්ධයෙන් මළවුන් සංඛ්‍යාව හොයන ජාත්‍යන්තර සංගණනයක්

Report
8Shares

ජාත්‍යන්තර අපරාධ අධිකරණ වලට සාක්ෂි ගොනු කිරීම සම්බන්ධයෙන් විශේෂඥතාවක් උසුලන සම්මානලාභී විද්‍යාඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් මියගිය ජනකාය ගණනය කිරීම ආරම්භ කර තිබේ.

ශ්‍රීලංකාවේ යුද්ධයට දස වසරක් පිරෙද්දී තොරතුරු ඒකරාශී කරන එම ව්‍යායාමයට ඇමරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර මූලස්ථාන කොටගත් මානව හිමිකම් දත්ත විශ්ලේෂක සමූහය (HRDAG) මුල පුරා ඇත්තේ ජගත් මානව හිමිකම් නීතිවේදිනී යැස්මින් සූකාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සමග හවුල්වෙමිනි.

එම සංවිධාන දෙක විසින් පසුගිය මාසයේ ගණනය කර තිබූ පරිදි ශ්‍රී ලංකාවේ යුද්ධයේ අන්තිම පැය 48 තුල පමණක් අතුරුදහන් වූ සංඛ්‍යාව 500 ඉක්මවයි.

දශක තුනකට ආසන්න කාලයක් මානව හිමිකම් වලට අදාළ දත්ත එකතු කර විමර්ශනය කිරීමේ ප්‍රාගුන්‍යයෙන් යුත් ගණිතඥයන් සහ සංඛ්‍යාලේඛන විශේෂඥයන්ගෙන් සැදුම් ලත් HRDAG සංවිධානය ගෝතමාලා, කොලොම්බියා,කොසොවෝ, සියරා ලියොන් සහ නැගෙනහිර තිමෝරය ඇතුළු රටවල් ගණනාවක පර්යේෂණ සිදුකර ඇත.

එමතොරතුරු සත්‍ය කොමිසම්, ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභා සහ රාජ්‍ය නොවන සංවිධානවිසින් ප්‍රයෝජනයට ගෙන තිබේ.

තොරතුරු සොයා දෙන්න

ශ්‍රීලංකාවේ යුද්ධයෙන් මළවුන් ගණනය කිරීමේ ව්‍යාපෘතියට සහාය වන ලෙස ශ්‍රී ලංකාව තුල මෙන්ම ඉන් පිටතත් සිටින සංවිධාන සහ පුද්ගලයන්ට ආයාචනයක් කරන ITJP හා HRDAG ඒ සඳහා දැනට තිබෙන හානියට පත් අයගේ ලැයිස්තු ලබා දෙන ලෙසත්, අලුතින් තොරතුරු එක්රැස් කරගන්නා ලෙසත් ඉල්ලා සිටී.

ශතවර්ෂ ගණනක් තිස්සේ සංඛ්‍යා ලේඛන විශේෂඥයන් විසින් නොවරදින සුළු ලෙසින් යොදාගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් පාවිච්චි කරමින් එම ලැයිස්තු විශ්ලේෂණය කිරීම මගින්, නමින් ලේඛනගතව ඉන්නා අය පමණක් නොව අතුරුදහන් වූ බව නොදන්නා පුද්ගලයන්ගේ සංඛ්‍යාවත් ගණනය කළ හැකි බව HRDAG පවසයි.

“මේ ව්‍යාපෘතියේ අරමුණ වන්නේ අපට නමින් හඳුනා ගතහැකි පුද්ගලයන් මෙන්ම නම් කළ නොහැකි අඳුරු සංඛ්‍යාව ද ඇතුළුව මරණයට ලක්වූ සංඛ්‍යාවේ පරිමාණය තීරණය කිරීමයි,” යනුවෙන් එම සංවිධානයේ පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය පැට්‍රික් බෝල් කියා සිටී.

“නඩු විභාග වලදී, සත්‍ය කොමිසම් වලදී සහ මළවුන් සම්බන්ධ තිරසාර අනුස්මරණයක් තහවුරු කිරීමේදී එම කටයුත්ත ඉතා වැදගත් වෙයි.”

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගණන් බලා ඇති පරිදි යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව හතලිස් දහසත්, හැත්තෑ දහසත් අතර වෙයි. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පත් කළ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමට (LLRC) මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝසප් පියතුමා දුන් විස්තර අනුව ආගිය අතක් නොමැති සංඛ්‍යාව 140,000 ඉක්මවයි.

ආණ්ඩුව පවසන පරිදි ශ්‍රී ලංකා සන්නද්ධ සේනා උතුරේ දියත් කළ ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් කිසිවකුත් මියගොස් නැත.

LLRCකොමිසම පවසන්නේ යුදබිය හමුවේ මියගියවුන් ගණනය කිරීමේ හැකියාවක් රජයේ නිලධාරීන්ට නොතිබුනු හෙයින් සිය අවසන් වාර්තාවේ මරණ සංඛ්‍යාවක් සඳහන් නොවන බවයි.

අතුරුදහන්වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලයේ ගණන් බැලීම අනුව යුද සමයේ පමණක් අතුරුදහන් සංඛ්‍යාව විසිදහස ඉක්මවයි.

“මේ තරම් වසර ගණනක් ගතවීත් ඇත්ත මරණ සංඛ්‍යාව දැනගැනීම කරා ලඟා වීමටවත් අපට නොහැකි වීම මහත් කම්පාවට කාරණයකි,” යි විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පැවසුවාය.

අවම වශයෙන් මළවුන්ගේ නම් එකතු කොට ආචාරශීලී භාවය දැක්වීමට අපි ඔවුන්ට ණයගැති වෙමු. මිනිස්වර්ගයාට සිදුවූ හානියේ පරිමාණය ගණනය කර බැලීම ඉතා වැදගත් වන අතර අප විසින් එකලස්කරන අවසාන නම් ලැයිස්තුව ප්‍රජාවන්ට වැදගත් වන අනුස්මරණය සඳහා ප්‍රයෝජනවත් වෙයි.”

ඥාතීන්ට, මිතුරන්ට සහ අසල්වාසීන්ට කතාකොට මළගියඇත්තන්ගේ නම් එකතු කරගෙන තමන්ට සපයන ලෙස ඉල්ලා සිටින HRDAG සහ ITJP ඒ දත්ත ලේඛනගත කිරීම පහසු කරනු පිණිස ආකෘති පත්‍රයක් සහ උපදෙස් අන්තර්ජාලයටඇතුල් කර ඇත.

itjpsl@gmail.com හෝ info@hrdag.org ඊමේල් ඔස්සේ විස්තර එවන ලෙසඉල්ලා සිටින එම සංවිධාන දෙක තොරතුරු වල මුලාශ්‍ර සහ විස්තර සපයන්නන් පිළිබඳ කරුණු රහසිගතව තබාගන්නා බවට සහතිකවෙයි.