යුද්ධයේදී අපරාධ සිදුවූ බව ආරක්ෂක ලේකම් පිළිගනී

Report
3Shares

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දෙමළ විමුක්ති කොටි සංවිධානයට එරෙහිව දියත් කළ යුද්ධයේදී අපරාධ සිදුවූ බව ආරක්ෂක කටයුතු පිළිබඳ ඉහළම රජයේ නිලධාරියා විසින් පිළිගෙන තිබේ.

යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් නැගෙන චෝදනා ශ්‍රී ලංකාවේ රජය සහ යුද හමුදාව විසින් පසුගිය දස අවුරුද්ද තුලම ප්‍රතික්ෂේප කරනු ලබද්දී “දෙපාර්ශවයෙන්ම වැරදි ක්‍රියා” සිදුවූ බව ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ ඔහුට උපහාර දක්වනු පිණිස ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේද සහභාගිත්වයෙන් නාලන්දා විද්‍යාලීය රණවිරු සංගමය විසින් පවත්වන ලද උත්සවයකදීය.

“දහස් ගණන් දෙපැත්තෙන්ම මැරුණා. දහස් ගණන් දෙපැත්තෙන්ම වැරදි ක්‍රියා වලට යොමුවෙලා ජීවිතක්ෂයට පත්වූ,” බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා සහ බෞද්ධ භික්ෂුන් වහන්සේ විසින් ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙබළුන් “රණවිරු” යනුවෙන් හැඳින්වීම නොමග යවන සුළු ප්‍රකාශයක් බව ද ආරක්ෂක ලේකම් වරයා පෙන්වා දුන්නේය.

“රණවිරුවා හමුදාවෙන් ගිහිල්ලා මිනියක් මරපු දවසට රණවිරුවා කියන්න බෑ. එයාට කියන්නේ මිනීමරුවා කියලා.”

චුදිත හමුදා නිලධාරීන් ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කිහිපවාරයක්ම ජනාධිපතිවරයාගේ දැඩි දෝෂ දශනයට ලක්වුවකි.

අපරාධ සිදු කළ බවට චෝදනා ලබන ආරක්ෂක සේනා සාමාජිකයන් නීතිය හමුවට පමුණුවා දඬුවම් කිරීමට රජය පියවර ගනිමින් සිටින බව ද ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

“විශේෂයෙන්ම තව සති දෙකක් ඇතුලත ලංකාවේ සිදුවෙච්චි ඉතාම බිහිසුණු, ම්ලේච්ඡ මිනීමරුමකට සම්බන්ධ වෙච්ච හමුදා පුද්ගලයන් 11 දෙනකුට අපි නඩු පවරනවා.”

එම නඩු පැවරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ රජය වරදකාර හමුදා නිලධාරීන් රකින බවට චෝදනා කළ නොහැකි බවට විශ්වාසය පලකළ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ආරක්ෂක අංශ විසින් සිදු කළ බවට පිළිගත හැකි සාක්ෂි සහිත තොරතුරු, විමර්ශන ආරම්භ කිරීම සඳහා ආණ්ඩුවට ලබා දෙන විදේශගත දෙමළ ජනතාවට අභියෝග කළේය.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේදී නිරායුද පුද්ගලයන් අඩුම වශයෙන් හැත්තෑ දහසක් වත් මරුමුවට පත්වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගැනීමයි.