ගෝටාගේ නඩුව දා උසාවිය අවට හමුදාකරණයට නීතිපති විරෝධය

Report
5Shares


තම පියා වෙනුවෙන් කටුගෙයක් තැනීමේදී කෝටි ගණනින් වංචා කළ බවට හිටපු ආරක්ෂක ලේකම්වරයාට නැගී ඇති චෝදනා විභාග කරන අවස්ථාවේ උසාවිය අවට පැවති දැඩි හමුදාකරණය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය පල කර තිබේ.

එම විරෝධය මතුවූයේ වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ අනුස්මරන කෞතුකාගාරය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් තුන්කෝටි තිස්නම ලක්ෂයක් අවභාවිතා කළ බවට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හත්දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව මහාධිකරණ විනිසුරු තුන්කට්ටුවක් හමුවේ විභාගයට ගත් පළමු දිනයේය.

සන්නද්ධ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) ඇතුළු නිල සහ නිල නොවන ආරක්ෂකයන් අවට ගැවසීම සාක්ෂිකරුවන්ට තර්ජනයක් බව නඩුව මෙහෙයවන නීතිපති දෙපාර්තමේන්තුව සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චයකාර මණ්ඩලයේ අවධානයට යොමුකර තිබේ.

“අධිකරණයට ඇතුල් වීමේ එකම දොරටුව අසල සහ උසාවිය තුලත්, විත්ති කූඩුව අසලත් සුදු ඇඳගත් පුද්ගලික ආරක්ෂකයන් ඉන්නවා, STF භටයන් සමග ඩිෆෙන්ඩර් වාහන තුනක් අධිකරණ භූමියේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට නවතා තිබෙනවා,” යි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහාධිකරණයට දැනුම් දුන්නේය.

“මේ අය මෙසේ රැඳී සිටින්නේ පැමිණිල්ලේ හෝ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාවට නොවෙයි. සාක්කිකරුවන්ට ස්වාධීන මනසකින් යුතුව සාක්ෂි දිය නොහැකි ආකාරයේ තර්ජනයක් මේ මගින් එල්ල වී තියෙනවා. නඩු විභාගය පවත්වාගෙන යද්දී සාක්ෂිකරුවන්ගේ පූර්ණ ආරක්ෂාව තහවුරු කිරීමේ වැඩපිළිවෙලක් යොදන්න ඕනෑ.”

හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ යටතේ පැවති ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන් පනහකට අධික පිරිසක් සාක්ෂි දීමට නියමිතය.

නඩුව නැවත කැඳවා තිබෙන ජනවාරි 31 දා සුදුසු නියෝගයක් ලබා දෙන බව සභාපති සම්පත් අබේකෝන්, චම්පා ජානකී රාජරත්න සහ සම්පත් විජේරත්නගෙන් යන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

වීරකැටියේ මැදමුලන ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රාජ්‍ය සම්පත් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට ගෝඨාභය රාජපක්ෂට අමතරව, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ එවක සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික භද්‍රා උදුලාවතී කමලදාස, සුධම්මික කේවින්ද ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී මෙන්ඩිස් සාලිය සහ ශ්‍රීමතී මල්ලිකා කුමාරි සේනාධීර චෝදනා ලබා සිටිති.

හිටපු ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු ආර්ථික සංවර්ධන ඇමැති සහ හිටපු කතානායක සිව් සොහොයුරන්ගේ පියා වෙනුවෙන් ස්මාරකයක් පිහිටුවීම “අතිශය පෞද්ගලික ඉදිකිරීමක්” බව නිගමනය කර ඇති රජයේ විගණකාධිපතිවරයා ඒ සඳහා නාවික හමුදා නිලධාරීන් යෙදවීමට තීරණය කළ නිලධාරීන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් කරන ලෙස ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති ඩබ් එම් ඒ එස් ඉද්දවෙල විසින් විගණකාධිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති පරිදි රාජපක්ෂ කෞතුකාගාර ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි දෙකහමාරක මුදලක් නාවික හමුදාවට ගෙවා ඇත.

රටේ මුදල් රෙගුලාසි නොතකා “සංස්ථාවේ සභාපති ඇතුළු බලධාරීන් විසින් කර ඇති මෙවැනි කටයුතු ද රට තුල මුල්‍ය විනය පිරිහීමට ප්‍රබල ලෙස බලපෑම් ඇති කරන හෙයින් මෙම අවිධිමත් ක්‍රියාවලියට වගකිව යුතු පාර්ශවයන් වෙතින් මෙම සිද්ධියට අදාලව පාර්ලිමේන්තුව වෙත උත්තර ලබා ගත යුතු බව නිගමනය කරමි,” යි විගණකාධිපති ගාමිණී විජේසිංහ විසින් පසුගිය පෙබරවාරියේ නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.