සතොස සමූහ මිනීවලේ විමර්ශන වලට OMP හා අතුරුදහන් වුවන්ගේ ඥාතීන් හවුල් වේ

Report
3Shares

අපරාධයක් සිදුවූ ස්ථානයක් බවට තීන්දු කර ඇති මන්නාරම සතොස සමුහ මිනීවලේ විමර්ශන කටයුතු වල විශ්වසනීයත්වය සහතික කරගැනීම සඳහා පර්යේෂකයන් විසින් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) මෙන්ම වින්දිතයන්ගේ ඥාතීන් ද හවුල් කරගෙන තිබේ.

ඒ අනුව මෙතෙක් ගොඩගන්නා ලද සිරුරු අයත් කාල වකවානුව පිළිබඳ නිගමනයකට එළැඹීම සඳහා අස්ථි සාම්පල එක්සත් ජනපද පර්යේෂණාගාරයකට භාර දීම සඳහා වෝහාරික විශේෂඥ සමින්ද රාජපක්ෂ ට OMP කොමසාරිස් මිරාක් රහීම් ද, අතුරුදහන් වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් නීතිඥ වී එස් නිරංජන් සහ රනීතා ඥානරාජා නීතිඥවරිය එක්වී සිටියහ.

ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති විශාලතම එක සේ ගැනෙන සතොස සමූහ මිනීවලෙන් මේ වන විට සිරුරු 300 ක ඇටසැකිලි පාදාගෙන තිබේ. ඒ අතරින් 23 ක්ම බාල දරුවන්ගේය.

ෆ්ලොරීඩාවේ බීටා ඇනලිටික්ස් ආයතනයට ජනවාරි 25 සිකුරාදා භාර දෙන ලද අස්ථි නියැදි කවර කාල වකවානුවට අයත් දැයි සති දෙකකින් දැනගත හැකි බවට පෙරලා පැමිණ සිටින විමර්ශකයෝ විශ්වාසය පල කරති.

“නිරීක්ෂයන් ගියේ මෙම පරීක්ෂණ කටයුතු ඉතාමත්ම විද්‍යානුකුලව සහ විනිවිද භාවයෙන් යුතුව කටයුතු සිදු කරන්න ඕනේ නිසා,” යි කැනීම් කටයුතු සතියකට පසු නැවත ආරම්භ කළ ජනවාරි 30 දා වෛද්‍ය රාජපක්ෂ මාධ්‍යවේදීන් හා කියා සිටියේය.

මන්නාරම සතොස විමර්ශනය වැදගත් එකක් බව අවධාරණය කරන OMP කාර්යාලය, අස්ථි සාම්පල බාර දීමේ ක්‍රියාදාමයේ නිරවද්‍යතාව තහවුරු කිරීමට අමතරව “මීට පෙර කාබන් දත්ත පර්යේෂණ වලට යැවූ අවස්ථාවලදී මතුවූ ගැටළු නැවත සිදුවීම වැලක්වීමටත්” නිරීක්ෂකයන්ගේ සහභාගිත්වයේ අවශ්‍යතාව පෙන්වා දෙයි.

“මෙවැනි කටයුතු වල විනිවිදභාවය තහවුරු කිරීම තුලින් අතුරුදහන් වූ සහ අතුරුදහන් කළ තැනැත්තන්ගේ පවුල් වල සාමාජිකයන් සහ සාමාන්‍ය ජනතාව අතර විමර්ශන ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය ගොඩනැගීම අත්‍යාවශ්‍ය වේ,” යි OMP ප්‍රධානී සාලිය පීරිස් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

පර්යේෂණාගාරය විසින් යොදා ගනු ඇත්තේ රේඩියෝ කාබන් දින පරීක්ෂාවකි.

“බීටා ඇනලිටික්ස් ආයතනය මේ සඳහා තෝරා ගනු ලැබුවේ බොම්බ් ප්ලස් කාබන් 14 තාක්ෂණ ක්‍රමවේදය (Bomb Pulse Carbon 14 technique) භාවිතා කර පරීක්ෂණ පවත්වන ජාත්‍යන්තරව පිළිගත් ආයතනයක් වීම හේතුවෙනි. රේඩියෝ කාබන් දින පරීක්ෂා පර්යේෂණය මගින් අස්ථි සහ දත් සාම්පල වල අඩංගු කාබන් 14 අගය ඇස්තමේන්තු ගත කළ හැකි අතර, එමගින් ශාක හෝ සත්වයන් ජීවත්ව සිටි කාල පරිච්ඡේදය අනුමාන කළ හැකිය. පුරාවිද්‍යා සහ අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍ර වල කරනු ලබන පරීක්ෂණ සඳහා මෙම තාක්ෂණයනය බෙහෙවින් භාවිතා කරනු ලැබේ.”

ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ මිනී වල වන ඇටසැකිලි 154 ක් හමුවූ මාතලේ සමූහ මිනීවලේ සාම්පල පරීක්ෂා කළ බීටා ඇනලිටික් නිගමනය වූයේ ඒවා 1950ට පෙර යුගයට අයත් බවයි.

එය තරයේ ප්‍රතික්ෂේප කරන කැනීම් භාරව සිටි අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන සහ පුරාවිද්‍යා විශේෂඥ මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රකාශ කර තිබුනේ ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල මර්දනය කෙරුනු කාල වකවානුවට ඒවා අයත් බවය.

සතොස සමූහ මිනීවලේ ඇටකටු කාබන් දින පරීක්ෂාව සඳහා විදේශීය විද්‍යාගාරයක සහාය ලබා ගැනීමට මන්නාරම දිසා මහේස්ත්‍රාත් ටී සරවනරාජා විමර්ශන කණ්ඩායමට අනුමැතිය ලබා දුන්නේ ජනවාරි 18 දාය.