උපන් රටේ නැති අමුතු අවුරුද්දක් ලන්ඩන් ලාංකිකයන්ට ලැබෙයි

Report
8Shares

තම ජන්ම භුමියේ කිසිදු පුරවැසියකු සමරන්නේ නැති පන්නයේ අලුත් අවුරුද්දක් ලන්ඩන් වාසී ශ්‍රී ලාංකිකයන්ට නිර්මාණය කර දීමට එනුවර පළාත් පාලන ආයතනයක් පියවර ගෙන තිබේ.

නිරිතදිග ලන්ඩනයේ සටර්න් නගර සභාව විසින් මෑතදී සම්මත කරගත් යෝජනාවක් අනුව මේ වසරේ පටන් “හින්දු සහ බෞද්ධ” අලුත් අවුරුද්දක් ප්‍රවර්ධනය කිරීමට ඔවුන් පියවර ගනු ඇත.

“අප්‍රේල් 14 වැනිදාට යෙදෙන හින්දු සහ බෞද්ධ අලුත් අවුරුදු උත්සවය මෙම නගර සභාවේ අගය කිරීමට ලක්වේ,” යි පරම් නන්දා සහ ටොම් ඩ්‍රමන්ඩ් සභික දෙපලගේ යෝජනා සම්මතයෙන් අනුමත කරගන්නා ලද යෝජනාව ආරම්භ වේ.

“මෙම දිනය උත්සවශ්‍රීයෙන් සැමරීම ප්‍රජාවට අගයක් එකතු කරයි. එහිදී හින්දු සහ බෞද්ධ සම්ප්‍රදාය පිළිබිඹු කරන විවිධාකාර සංස්කෘතික ක්‍රියාකාරකම් වල යෙදී විනෝද වීමට විශේෂයෙන්ම තරුණ ජනතාවට ඉඩ සැලසේ.”

එම “හින්දු සහ බෞද්ධ අලුත් අවුරුදු උත්සවය” නගරසභාවේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන අතර එය නගා සිටුවීම සඳහා පාසල් හා ප්‍රජා කණ්ඩායම් හමුවට යාමටද සටර්න් නගර සභාව තීරණය කර තිබේ.


තම යෝජනාවට නගර සභාවේ සියලු පක්ෂ වල සහාය පලවී ඇති බවද පරම් නන්දා මන්ත්‍රීවරයා සභාව හමුවේ කියා සිටියේය.