“බෙල්ල කපන” මුද්‍රාව පෑ දවසේ බ්‍රිගේඩියර් ට මුක්තියක් තිබු බව බ්‍රිතාන්‍යය කියයි

Report
6Shares

ශ්‍රී ලංකාවේ හැත්තෑ වැනි නිදහස් දිනය දා ලන්ඩනයේ විරෝධතා පැවැත්වූ දෙමළ ජනතාව ඉලක්ක කොට ගෙල සිඳින අභිනයක් පෑම නිසා වරදකරු බවට තීන්දු කරනු ලැබූ හිටපු තානාපති නිලධාරියකු ඒ අවස්ථාවේ රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය භුක්ති විඳි බව බ්‍රිතාන්‍ය රජය එරට අධිකරණයට දැනුම් දී තිබේ.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි නඩුව පෙබරවාරි 1 දා නැවත විභාගයට ගත් වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දෙමළ උද්ඝෝෂකයන් කණ්ඩායමක් දැඩි සීතල මධ්‍යයේ විරෝධතාවක යෙදෙනු දකින්නට ලැබුනි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව පවරා තිබු නඩුව පසුගිය 21 දා විභාග කළ විසින් මහජන ආරක්ෂක පනත යටතේ ඔහු වරදකරුවකු බවට තීන්දු කොට අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලදී.

එදිනම ශ්‍රී ලංකාවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලන්ඩනයේදී පොදුරාජ්‍ය මණ්ඩල හා එක්සත් ජාතීන්ගේ කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් මුණගැසී තිබුනි.

මානව හිමිකම් සහ සංහිඳියා ක්ෂේත්‍රයේ අත් කරගෙන ඇති ප්‍රගතිය මෙන්ම “අන්‍යෝන්‍ය වශයෙන් රුචිකර වෙනත් කරුනු” සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බව මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුනි.

අධිකරණය හමුවේ බ්‍රිගේඩියර් ප්‍රනාන්දු වෙනුවෙන් කරුණු දැක්වීමක් සිදු නොකළ ශ්‍රී ලංකාවේ රජය ඒ සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස නඩු තීන්දුවෙන් පසු කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඉල්ලීම පරිදි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් රිචඩ් ඩව්රිස් කොළඹදී විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ හමුවී ඇත.

“ශ්‍රී ලංකාවේ විදේශ ලේකම් වරයාගේ ඉල්ලීම පරිදි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වරයා ජනවාරි 24 වැනිදා විදේශ ලේකම් වරයා මුණ ගැසුනේය,” යි බ්‍රිතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් ජනවාරි 30 දා එරට පාර්ලිමේන්තුවට දැනුම් දී තිබුනි.

“සිද්ධිය අවස්ථාවේ බ්‍රිගේඩියර් රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය භුක්ති විඳි බවට වන තම රජයේ දැක්ම මෙම රැස්වීමේදී ගෙනහැර දැක්වූ විදේශ ලේකම්වරයා එම අදහස ලන්ඩනයේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාලයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියේය.”

ඒ හමුවත් සමගම බ්‍රිතාන්‍ය අධිකරණය විසින් වරෙන්තුව ආපසු කැඳවා නඩු විභාගය පෙබරවාරි 1 දා විභාගයට ගන්නා ලද අවස්ථාවේ එරට විදේශ අමාත්‍යාංශය වරදකාර හිටපු තානාපති නිලධාරියා වෙනුවෙන් කරුනු දක්වා තිබේ.

අධිකරණය හමුවේ සහතිකයක් ඉදිරිපත් කරමින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය කියා සිටියේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සිය අභිනය පෑ අවස්ථාවේ රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය භුක්ති විඳි බවයි.

කෙසේ වෙතත්, නඩුව පැවරු පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි රාජනීතිඥ පීටර් කාටර් තර්ක කළේ බ්‍රිගේඩියර්ගේ තර්ජනය ඔහුගේ දූත මණ්ඩල රාජකාරියෙන් පරිබාහිරව කරන ලද්දක් බවයි.

“වහාම සාක්ෂි ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැති” බව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද නිකොලස් වේන් බැරිස්ටර් වරයා විසින් දැනුම් දීමෙන් අනතුරුව එමා ආර්බත්නොට් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ඊළඟ නඩු විභාගය මාර්තු මස පළමු වැනිදාට කල් තබන ලදී.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනීම සඳහා පැනවූ වරෙන්තුව ඉවත් කරගත්තත් ඔහු බ්‍රිතාන්‍ය මහජන ආරක්ෂක පනත කඩ කිරීමේ වරදක් කළ බවට අධිකරණය දුන් තීන්දුව එලෙසම පවතින බව මානව හිමිකම් ක්‍රියාධර කුලසේකරම් ගීතාර්තනන් ගගන හා කියා සිටියේය.