අපරාධ කළ හමුදා සාමාජිකයන්ට දඬුවම් කළ යුතු බව මහින්ද කියයි

Report
211Shares

උතුරේ යුද්ධයේදී ශ්‍රී ලංකාවේ රජයේ ආරක්ෂක සේනා සාමාජිකයන් විසින් බරපතල අපරාධ සිදු කරන ලද බව පිළිගත් යුද සමයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔවුන් අධිකරණය හමුවට පමුණුවා දඬුවම් පැමිණවිය යුතු බව අවධාරණය කරයි.

දසදහස් සංඛ්‍යාත ජීවිත විනාශ කරමින් දියත් කෙරුනු යුද්ධය කිසිවකුටත් හානි නොකළ “මානුෂික මෙහෙයුමක්” ලෙස හැඳින්වූ ආණ්ඩුවක නායකත්වය දැරූ මහින්ද රාජපක්ෂ තමන්ගේ සේනාධිනායකත්වය යටතේ වූ හමුදාවලට එරෙහිව දස වසරකට ආසන්න කාලයක පටන් නැගෙන චෝදනාවල සත්‍යයක් ඇතැයි මුල්වරට ප්‍රසිද්ධියේ පිළිගත්තේ දෙමළ මාධ්‍යවේදීන් සමූහයක් සමග පැවති විශේෂ සාකච්ඡාවකදීය.

අඩුම වශයෙන් සාමාන්‍ය වැසියන් හැත්තෑ දහසක් මරුමුවට පත් වූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගණන් බලා ඇති යුද්ධයේදී යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සිදුවූ බවට නැගී ඇති චෝදනා විභාග කළ යුතු බවට වර්තමාන රජය ගිවිසගෙන තිබේ.

“එහෙම දේවල් උනා” යි කියා සිටි හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ මෙන්ම එල්ටීටීඊ සංවිධානයත් එම අපරාධ කළ බවයි.

කල්ලි ගැසී ස්ත්‍රී දුෂණ සිදුකරන ලද බව ඔහු විශේෂයෙන් සඳහන් කර සිටියේය.

“එක කට්ටියකට සමාව දීලා අනික් අයට දඬුවම් දෙන ප්‍රතිපත්තියක් වෙන්න බෑ නේ. හැබැයි ඉතින් බරපතල අපරාධයක් කරලා තියෙනවානම් ස්ත්‍රී දුෂණයක්, කල්ලි ගැසී දුෂණයක්, ඒ වගේ එකක් තිබුනොත් ඒක දඬුවම් කරන්න ඕනේ උසාවියෙන්,” යයි විපක්ෂ නායක මහින් ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.

“ගෙදරක ගෑනු ළමයෙක් ඉන්නවා නම්, ඒ ලමයව අරං ගිහිල්ලා කවුරු හරි රේප් කරනවානම්, ඒක යුද්දෙට සම්බන්ධයක් නෑනේ. මේ සටනට සම්බන්ධ නෑනේ. එහෙම දේවල් උනානේ. දෙගොල්ලන්ගෙන්ම උනා. එහෙම නම් ඒ දෙගොල්ලන්ටම දඬුවම් කරන්න ඕනේ ඒකට. එක කට්ටියකට දඬුවම් කරන්නයි එක කට්ටියක් නිදහස් කරන්නයි බැහැ, එහෙම උනානම්.”

යෝජිත නව ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය ක්‍රමය මෙන්ම බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය ආරක්ෂා කිරීමට නිර්දේශ කර තිබියදීත්, ඊට විරුද්ධ වන්නේ ඇයිදැයි මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයක් විපක්ෂ නායකයා විසින් මගහැර යන ලද්දේ සුළුතරයක් වන ආණ්ඩු වට ඒ සඳහා සුජාත භාවයක් නැතැයි පවසමිනි.

නව ව්‍යවස්ථාවක් ගෙන එන බව පවසමින් දෙමළ ජාතික සන්ධානය “දෙමළ ඡන්ද ගැනීමේ උප්පරවැටියක්” යොදන බවට මහින්ද රාජපක්ෂ චෝදනා කළේය.

“සුමන්දිරන් කිව්වා නිදහසට ඉස්සර වෙලා ගෙනාවා කියලා මේක, කෝ ඉතින් ගෙනාවයැ, නෑනේ.”

ජාතික ප්‍රශ්නය විසඳා ගැනීමට මේතාක් නොහැකි වූයේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් යටතේ තම ඉල්ලීම් ඉටු කර ගත හැකිවෙතැයි විශ්වාසයෙන් යුතුව දෙමළ ජාතික සන්ධානය කටයුතු කළ නිසා යැයි චෝදනා කළ විපක්ෂ නායකයා තමන් බලයට පත් වූ විට TNA නැතිව හෝ විසඳුමක් ගෙන එන බව කියා සිටියේය.