ප්‍රගීත් සොයන සන්ධ්‍යාට හමුදා නිල ඇඳුමින් යුතුව තර්ජන

Report
5Shares

නම අවුරුද්දකට ඉහතදී පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද සිය මාධ්‍යවේදී සැමියා සොයා ගැනීම වෙනුවෙන් අරගල කරන ජගත් සම්මාන ලාභී මානව හිමිකම් ක්‍රියාධාරිනියක් තමන්ට අගනුවර දී සිදුකරන ලද අඩන්තේට්ටමක් පිළිබඳව පැමිණිලි කර තිබේ.

සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් අදාළ වීඩියෝ දර්ශන ද සහිතව පොලිස්පතිවරයාට ලිඛිතව යොමු කළ පැමිණිල්ලේ සඳහන් පරිදි හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසුනු අයකු ඇයට තර්ජනය කර ඇත.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර නම අවුරුද්දක් පිරෙන දිනයේ කොළඹ ජනාධිපති කාර්යාංශය ඉදිරිපිට කාලි දේවතා කන්නලව්වක් කරන අවස්ථාවේ එම තර්ජනය සිදුකරන විට පොලිසිය නිෂ්ක්‍රියව බලා සිටි බවද සන්ධ්‍යා පවසන්නීය.

පොලිස් නිලධාරීන් පැමිණ ඇගේ දේව කන්නලව්වට බාධා කරන ආකාරයද මාධ්‍යවේදීන්ට හා මානව හිමිකම් ක්‍රියාධාරීන්ට දැකගන්නට ලැබිනි.

ප්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනවාරි මස 24 වැනි දින කොළඹට තදාසන්න ප්‍රදේශයකදි පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටිනුයේ යුද හමුදා බුද්ධි බලකායේ ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන, ලුතිනන් කර්නල් අර්ජුන කුමාරරත්න, මාණ්ඩලික සැරයන්වරුන් වන ප්‍රියන්ත කුමාර, කණිෂ්ක ගුණරත්න, ප්‍රියන්ත ඩිලන්ජය, චමින්ද කුමාර සහ රවින්ද්‍ර රූපසිංහ යන සත් දෙනාය.