“අතීතය අමතක කරන්න” අගමැති දෙමළ ජනතාවගෙන් ඉල්ලයි

Report
4Shares

යුද්ධයේ සිදු කළ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවට සිව් වසරකට ඉහතදී දුන් පොරොන්දු මේතාක් ඉටු නොකළ ආණ්ඩුව එය මගහැර යාමට දෙමළ ජනතාවගේ සහාය ඉල්ලා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ මෙන්ම දෙමළ ජනතාව ඉදිරියේද වර්තමාන ආණ්ඩුව සහතික වී තිබුනේ බරපතල මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධ අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන බවයි.

එසේ වෙතත්, අතීතය අමතක කරලන ලෙස කිලිනොච්චියේදී දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටි අගමැතිවරයා යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන චෝදනා විභාග කර නඩු පැවරීම සම්බන්ධයෙන් මැලිකමක් ද ප්‍රකාශයට පත් කර සිටියේ “නඩු අහන්න ගියොත් ඉවරයක් නෑ” යි පවසමිනි.

“එල්ටීටීඊ යටත් නඩු දාලා තියෙනවා. මන් හිතන්නේ හමුදා පොලිසියේ කට්ටියකටත් නඩු දාලා තියෙනවා,” යි කිලිනොච්චි දිසා ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන කටයුතු පුනරීක්ෂණ රැස්වීමක් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

නඩු නැති ඝාතන, රෝහල් සහ ආහාර පෝලිම් වලට ගුවන් බෝම්බ ගැසීම, හමුදා අත් අඩංගුවේ අතුරුදහන් වීම්, වධහිංසා සහ ලිංගික අපරාධ ඇතුළු චෝදනා ගණනාවක් ශ්‍රී ලංක රජයේ ආරක්ෂක අංශ වලට එරෙහිව ගොනු වී ඇතත්, යුද්ධය අවසන් වී දස වසරක් ගතවීමට ආසන්න වී තිබියදීත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් පැවැත්වූ බවක් රජය විසින් ප්‍රකාශයට පත් කර නැත.

හැත්තෑ දහසකට අධික සාමාන්‍ය ජනතාවක් මරා දමන ලද බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගණන් බලා ඇති යුද්ධයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝන විභාග කිරීම සඳහා ජාත්‍යන්තර දායකත්වයකින් යුත් විශේෂ අධිකරණයක් පිහිටුවීමට 2015 දී බලයට පත් රජය ජගත් මානව හිමිකම් මණ්ඩලයේදී ගිවිසගෙන තිබේ.

එම එකඟතාව ඉටු නොකර සිටීමේ අභිලාෂයක්ද රාජ්‍ය නිලධාරීන්, හමුදා බලධාරීන් මෙන්ම, දෙමළ ජාතික සන්ධාන නායකයන්ද සහභාගී වූ කිලිනොච්චි සාකච්ඡා සභාවේදී අගමැතිවරයා වෙතින් පල වී ඇත.

“දැන් මේක හැමදාම නඩු දාගෙන යන්නත් බෑ, සංහිඳියාවක් එන්න ඕනේ,” යි අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ අමතමිනි.

“අපි සත්‍යය කතා කරලා කනගාටුව ප්‍රකාශ කරලා, සමාව අරගෙන හුඟක් වැඩ කටයුතු ඉවර කරන්න ඕනේ.”

දකුණු අප්‍රිකාවද සංහිඳියාව ලඟා කරගත් මාර්ගය ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ හඳුන්වා දුන්නේ එම පිළිවෙතයි.

අගමැතිවරයාගේ ප්‍රකාශයට දැඩි ප්‍රතිචාරයක් දක්වන දෙමළ ජාතික සන්ධානයේ උතුරේ දේශපාලකයකු පෙන්වා දුන්නේ දකුණු අප්‍රිකාව සත්‍ය කොමිසමක් පත් කළේ වසර ගණනාවක් සුදු වර්ගවාදයෙන් නිදහස් වී කළු විමුක්තිකාමීන් රටේ පාලන බලය පිහිටුවා ගැනීමෙන් අනතුරුව බවයි.

“යුද්ධයෙන් අහිංසක අය දස දහස් ගණනක් මරා දැම්මාද, කී දෙනෙක් අතුරුදහන් කළාද, බාර වෙච්චි එල්ටීටීඊ සාමාජිකයන් කී දෙනෙක් හමුදාවෙන් මැරුවාද කියන සත්‍යය අගමැති තුමා පිලිගන්නවාදැ,” යි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් ගගන කළ විමසීමකදී පෙරලා ප්‍රශ්න කළේය.

එම සත්‍යය ආණ්ඩුව විසින් හෙළි කළ පසු ඉදිරි පියවර ගැන තීන්දු ගැනීම යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජනතාවට බාර කරන ලෙස ඔහු අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.