‘වව්චර්’ නිසා පාසල් දරුවන් තුන්ලක්ෂයකට නිල ඇඳුම් නෑ

Report
3Shares

පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් වෙනුවෙන් රෙදි ලබා දීම වෙනුවට වව්චර් ලබාදීමට රජය විසින් ගන්නා ලද තීරණය ක්‍රියාත්මක නොකිරීම නිසා තුන්ලක්ෂයකට අධික සිසු සිසුවියන් ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇතැයි දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් අනතුරු අඟවයි.

එය පාසල් දරුවන්ට ලබාදුන් නිළ ඇඳුම් රෙදි වෙනුවට “අන්තනෝමතිකව” ලබාදුන් නිළ ඇඳුම් වව්චර් පතද ක‍්‍රමානුකූලව කප්පාදු කිරීමට උත්සාහ කිරීමක් බව ලංකා ගුරු සංගමය පවසයි.

අලුත් පාසල් වර්ෂය පෙබරවාරි 17 දායින් ආරම්භ වුවත්, පළමු ශ්‍රේණියට ඇතුල් ඇතුළත් වූ සිසු සිසුවියන්ට නිළ ඇඳුම් වව්චර්පත් ලබාදීමට කටයුතු කර නැති බව සංගමයේ ප්‍රධාන ලේකම් නිකුත් කළ නිවේදනයක දැක්වේ,

“වාර්ෂිකව ළමුන් 320,000 කට වැඩි ප‍්‍රමාණයක් පළමු වසරට ඇතුළත් වන අතර, එම දරුවන්ට නිළ ඇඳුම් හිමිකම අහෝසි කිරීම බරපතල කනගාටුදායක තත්වයකි,” යි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටී.

“නිළ ඇඳුම් රෙදි ලබාදීමේදී මෙවැනි තත්වයක් උද්ගත නොවූ අතර, වව්චර් ලබාදීම තුළ මෙවැනි ගැටලූ මතුවීම වැලැක්විය නොහැක. මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තත්වය පිළිබඳව අවධානයක් යොමු නොකර පළමු ශ්‍රේණියට ඇතුළත් වූ දරුවන්ට නොමිලේ නිළ ඇඳුම් ලබාගැනීමේ අයිතිය අහිමි කිරීමට ක‍්‍රමිකව කටයුතු කරන බව පැහැදිලිය.”

ප්‍රමිතියෙන් බාල රෙදි ලබාදීම හා ටෙන්ඩර් මගඩි හරහා අති විශාල මුදල් වංචා සිදුවීම වළක්වාලීමට යැයි පවසමින් රජය වවුචර් නිකුත් කිරීම ආරම්භ කළේ 2015 දීය.

එමගින් රුපියල් මිලියන 800ක් ඉතිරි කර ගැනීම ආණ්ඩුවේ අභිප්‍රාය විය.