යුද අපරාධයක ගොදුරක් වූ වන්නි මාධ්‍යවේදියකු උතුරේදී සැමරේ

Report
2Shares

දස අවුරුද්දකට ඉහතදී වන්නියේ යුද මුක්ත කලාපයකට හෙලන ලද ෂෙල් ප්‍රහාරයෙන් මරා දමන ලද දෙමළ මාධ්‍යවේදියකු උතුරේ දී සමරන ලදී.

යුද භුමියේ සිට වාර්තාකරණයේ යෙදී සිටියදී ෂෙල් වෙඩි වැදී සිදුවූ බරපතල තුවාල වලට නිසි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඖෂධ නොමැතිකමින් 2009 පෙබරවාරි 18 දා මුලතිව් දිස්ත්‍රික්කයේ තෙවිපුරම්හි දී මියගිය පුණ්‍යමුර්ති සත්‍යමුර්ති සමරා පුෂ්පදීප උපහාරයක් පවත්වන ලද්දේ යාපනයේ ඉදිකර ඇති ඝාතනය කළ මාධ්‍යවේදියාගේ සමාධිය අබියසදීය.

ඉන් අනතුරුව ඔහුගේ ලේඛණ හා ජීවන කාර්යභාරය අලලා සහෝදර මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් විසින් රචිත මතක සටහන් එකතුවක්ද යාපන හින්දු විද්‍යාල ශාලාවේදී එළිදක්වන ලදී.

ඊලනාදම්, වෙල්ලිනාදම්, ඊළමුරසු හා වෙලිච්චම් ආදී ප්‍රකාශන වලට මෙන්ම IBC හා TTN ඇතුළු විදේශීය ගුවන් විදුලි සේවා ගණනාවකට යුද්ධයේ තොරතුරු සැපයූ සත්‍යමුර්තිගේ මරණය ජාත්‍යන්තර මාධ්‍ය හිමිකම් සංවිධාන විසින් යුද අපරාධයක් ලෙස ඒ අවදියේදීම හෙලා දැක තිබුනි.

“දෙමළ මාධ්‍යවේදීන්ද ඇතුළු දසදහස් සංඛ්‍යාත ජනකායක් හිරවී ඉන්නා ප්‍රදේශයකට හමුදාව ගුවන් ප්‍රහාර හා කාලතුවක්කු ගිනි බිඳීම යුද අපරාධ වෙයි,” යනුවෙන් දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ (RSF) නිකුත් කළ නිවේදනයක දැක්වේ.

“ඒ වනවිට වන්නියට මාරාන්තික ලෙස බලපාමින් තිබූ රජයේ ඖෂධ සම්බාධක විසින් සත්‍යමූර්තිගේ දිවිමග කෙටි කිරීමේ තීරණාත්මක වැඩ කොටස ඉටු කරනු ලැබුනි,” යි පුණ්‍යමුර්ති සත්‍යමුර්ති අනුස්මරණය කරන JDS වෙබ් අඩවිය පෙන්වා දෙයි.