යුක්තිය අහිමි තවත් සමුලඝාතනයක මළවුන් අම්පාරේදී සැමරේ | VIDEO

Report
3Shares

තිස්හතර අවුරුද්දකට ඉහතදී ඝාතනය කරන ලදුව අදත් යුක්තිය ඉටු නොවූ දරුවන් සහ කාන්තාවන්ඇතුළු සියයකට වැඩි දෙමළ පිරිසක් අම්පාර දිස්ත්‍රික්කයේදී අනුස්මරණය කර තිබේ.

තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තංගවේලායුදපුරම් හා උඩුම්බන්කුලම් ගම්මාන වලට 1985පෙබරවාරි 19 දා කඩාවැදී සිදුකරන ලද සමූහඝාතනයෙන් මියගිය අයට සෙත් පතා මලෙයියඩි ගණදෙවි කෝවිලේ දේව කන්නලව්වක් හා පහන් දැල්වීමක් සංවිධානය කර ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ අතුරුදහන් කරන ලද්දන්ගේ සංගමයේ සභාපතිනි තම්බිරාසා සෙල්වරානි ගේ ප්‍රධානත්වයෙනි.

සමුලඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් ප්‍රදේශවාසීන්ගේ චෝදනාවට ලක්ව සිටින්නේ කොන්ඩුවට්ටුවාන් යුද හමුදා කඳවුරේ නිලධාරීන් ප්‍රමුඛ ග්‍රාමාරක්ෂක භටයන්ය. ඇතැමුන් විශ්වාස කරන පරිදි ලාහුගල පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ භට පිරිස් ද පැමිණ තිබේ.

එදින රාත්‍රියේ වෙඩිතබා, කැතිගා මරාදමා පිදුරු අතුරා ගිනි තබන ලද පිරිස 126 ක් බව තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

මානව හිමිකම් සඳහා වන උතුරු නැගෙනහිර කාර්යාංශය (NESOHR) විසින් ප්‍රකාශයට පත් කරන ලද දෙමළ සමුලඝාතන පිළිබඳ තොරතුරු එකතුවක දැක්වෙන පරිදි ඇතැම් කාන්තාවන් ඝාතනය කිරීමට පෙර උඩුම්බන්කුලම් කුඹුරු යායකදී හමුදා භටයන් විසින් දූෂණය කර තිබේ.

දෙදිනකට පසු පාර්ලිමේන්තු මන්ත්‍රී සෑම් තම්බිමුත්තු, අක්කරෙයිපත්තු පුරවැසි කමිටු සභාපති අහමඩ් ලෙබ්බේ, ලේකම් එස් ටී මුර්ති, නියෝජ්‍ය සභාපති මරියදාස් පිලිප් පියතුමා සහ මඩකලපු පුරවැසි කමිටු සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු පියතුමා සමග එහි ගිය මාධ්‍යවේදීන් ට දැක ගන්නට ලැබී ඇත්තේ පිලිස්සී ගිය සිරුරුය.

පලාතම දුර්ගන්ධයකින් වැසී පැවතී ඇත.

සමුහඝාතනය පිළිබඳව කලවාන මන්ත්‍රී සරත් මුත්තෙට්ටුවේගම ඒ සමයේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර තිබේ.

එවක ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි පිලිතුරු වශයෙන් පවසා ඇත්තේ ඊරෝස් දෙමළ සන්නද්ධ සංවිධානය වගා කර තිබූ ගංජා හේනක් වටලන්නට ගිය ආරක්ෂක සේනා සමග ගැටුමකින් හතළිහක් මරුමුවට පත් වූ බවය.

මේ වනතුරුත් ඝාතකයන් හා දූෂකයන් සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් කර නඩු පැවරීමක් හෝ පීඩිතයන්ට වන්දි ගෙවීමක් හෝ සිදුකර නැත.