අවුරුදු දාහතක් තරම් අඩු වයසේ දෙමළ අයට කුරිරු වද: වාර්තාවක්

Report
7Shares

ලිංගික දුෂණය ඇතුළු දරුණු ගනයේ වධබන්ධන ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් තවමත් සිදු කරන බවට බියජනක තොරතුරු හෙළිකරන ජාත්‍යන්තර සංවිධානයක් “වධහිංසාව කිසිසේත් නොඉවසන” බවට ආණ්ඩුව කරන ප්‍රකාශ ක්‍රියාවෙන් ඔප්පු කර දක්වන ලෙස අභියෝග කර සිටී.

වධයට පාත්‍රවුවන් පුනරුත්ථාපනය කරන බ්‍රිතාන්‍යයේ ප්‍රධානතම ස්වේච්ඡා සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති අලුත්ම වාර්තාවේ දැක්වෙන පරිදි මේ ආණ්ඩුවේ පාලන කාලයේ පළමු අවුරුදු දෙක තුලදී වයස අවුරුදු දාහත තරම් අඩු වයසේ අයටද වධහිංසා කර ඇත.

කොටි සංවිධානය හා සම්බන්ධ බවට චෝදනා නගා යුද හමුදාව සහ විශේෂ පොලිස් ඒකක විසින් 2015-17 කාලය තුල අත් අඩංගුවට ගෙන ඇති වයස අවුරුදු 17 ත් 43 ත් අතර දෙමළ 16 දෙනකුට තම ආයතනය සායනික සේවා සහ නෛතික-වෛද්‍ය සේවා සලසා දුන් බව වධහිංසාවෙන් නිදහස (Freedom from Torture – FFT) ආයතනය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ඒ කාන්තාවන් සහ පිරිමින් අතරින් 13 දෙනකු විවිධාකාර ලිංගික වධයට ගොදුරු වී ඇති අතර නම දෙනකු දූෂණය කර තිබේ.

“මේ අපේ දොරටුවලින් ඇතුළු වූ පිරිස පමණක් විනා කිසිසේත් සමස්ත සංඛ්‍යාව නොවේ,” යි FFT ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ස්ටීව් ක්‍රෝෂෝ ගගන හා පැවසීය.

ඒ සැමදෙනාම ශාරීරික මෙන්ම මානසික වධයටත් ගොදුරු වී ඇති බව වාර්තාව සඳහන් කරයි.

“සියලු දෙනාටම වධහිංසා කරන ලද්දේ රාජ්‍ය නිලධාරීන්ගේ භාරයේ සිටියදීය. බේරී ආ වැඩිදෙනෙක් අපරාධකරුවන් ගැන දන්නේ මද පමණිනි. කෙසේ වෙතත්, සමහරුන් විසින් ඔවුන් හඳුන්වන ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, ත්‍රස්තවාදය වැලැක්වීමේ ඒකකයේ හෝ ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජිතයන් ලෙසිනි. අපරාධකරුවන් සිංහල හෝ කැඩිච්චි දෙමළෙන් හෝ කතා කළ බව කිහිප දෙනකු විසින් සඳහන් කරන ලද අතර, තවත් අය පැවසුවේ ප්‍රශ්න කරන හා වද දෙන අවස්ථාවේ අපරාධකරුවන් බීමතින් සිටි බවය.”

වධහිංසා පැමිණවීම සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලට ලක් කිරීමේ හෝ දඩුවම්වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියේ කොටස්කාර ශ්‍රී ලංකාව නිතරම කියාපාන්නේ වධහිංසාව සම්බන්ධයෙන් “කිසිසේත් නොඉවසන” ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

එය වචනයට පමණක් සීමාවක් වූ බවට මානව හිමිකම් සංවිධාන ගණනාවක්ම නගන චෝදනාව ප්‍රතිරාවය කරන FFT ප්‍රකාශිත ප්‍රතිපත්තිය ක්‍රියාවට නගනු පිණිස අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙසට ආණ්ඩුවට අභියෝග කරයි.

“කිසිසේත් නොඉවසන ප්‍රතිපත්තියක් වේ නම්, ආණ්ඩුව කළ යුත්තේ දණ්ඩ මුක්තිය හමාර කිරීමයි,” යනුවෙන් ස්ටීව් ක්‍රෝෂෝ අවධාරණය කරයි.

වධබන්ධන සිදුකරන බවට චෝදනා ලබන හමුදාවේ, පොලිසියේ හෝ ආරක්ෂක අංශ වල කවර තරාතිරමක අයකු සම්බන්ධයෙන් වුව ද සාපරාධී ක්‍රියා සම්බන්ධ විමර්ශනයක් පවත්වා දඬුවම් කර තම අවංක භාවය ඔප්පු කර දක්වන ලෙස FFT ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

වධහිංසාව තුරන් කිරීම ඇතුළු මානව හිමිකම් රැකීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් මණ්ඩලයේ එකඟවූ යෝජනා නැවත ශක්තිමත් කොට ඒවා ක්‍රියාත්මක කිරීමේ කාලරාමුවකට මෙවර ජිනීවා සමුළුවේදී රජය යටත් කරගැනීමේ අවශ්‍යතාව ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ස්ටීව් ක්‍රෝෂෝ වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.