පැහැරගැනීම් ගැන දැන සිටි බව හිටපු නාවික ලොක්කා උසාවියට කියයි

Report
4Shares

යුද්ධයේ අවසාන සමයේ තම පාලනය යටතේ තිබූ නාවික හමුදාවේ ඉහළ නිලධාරියකු ඇතුළු භටයන් විසින් පුද්ගලයන් පැහැරගැනීම පිලිබඳ දැන සිටි බව රහස් පොලිසියට ඕනෑකර තිබෙන හිටපු නාවික ප්‍රධානී අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අධිකරණයට පවසා තිබේ.

තමන් හිටපු ජනාධිපතිගේ සහ හිටපු ආරක්ෂක ලේකම්ගේ සමීපතමයකු බවත් ඔහු කියා සිටී.

2005-2009 වකවානුවේ හිටපු නාවික හමුදාපති වරයා එම හෙළිදරව්ව කර ඇත්තේ කොළඹ සහ ඒ අවටින් පුද්ගලයන් පැහැරගෙන ගොස්, වධහිංසා කර, අතුරුදහන් කරවීමේ අපරාධ පිළිබඳව කෙරෙන පරීක්ෂණ සඳහා තමන් අත් අඩංගුවට ගැනීම වලක්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමකිනි.

“නාවික හමුදාවේ ලූතිනන් කමාන්ඩර්වරයකු ඇතුළු පිරිසක් විසින් තරුණයන් පිරිසක් පැහැර ගත් බව 2009 මැයි 10 වන දින පෙත්සම්කරුට දැනගන්නට ලැබූ අතර ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස නාවික හමුදා පොලිස් ප්‍රධානියාට උපදෙස් ලබා දුන්නේය,” යි නීතීඥ සනත් විජේවර්ධන මගින් ගොනු කරන ලද පෙත්සමේ සඳහන් වෙයි.

එසේ තිබියදී, ලුතිනන් කොමාන්ඩර් වෙලගෙදර සහ හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා විසින් පෙත්සම්කරු ඇතුළු නිලධාරීන් කිහිප දෙනකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ දී තිබේ.

ත්‍රිකුණාමලයේ නාවික තටාකාංගනයේ “ගන්සයිඩ්” භූගත සිර කුටිවල පුද්ගලයන් රඳවා තිබූ බව වසන්ත කරන්නාගොඩ දැනුවත්ව සිටියේ යැයි 2017 අගෝස්තු මාසයේ ට්‍රැවිස් සින්නයියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් කටඋත්තරයක සඳහන් වෙයි.

එහි ඝාතන සිදුවූයේයැයි අද්මිරාල් කරන්නාගොඩ දැන සිටි බව රියර් අද්මිරාල් සින්නයියා කියා තිබේ.

හිටපු නාවික හමුදාපති සින්නයියා ඒ සමයේ ත්‍රිකුණාමල නාවික හා සාගරික විද්‍යා පීඨයේ අණදෙන නිලධාරියායි.

නැගෙනහිර බුද්ධි ප්‍රධානියා ලෙස 2009 පත් කර යවන ලද ලුතිනන් කොමදෝරු ක්‍රිෂාන්ත වෙළගෙදර විසින් අනාවරණය කර ඇති පරිදි පැහැරගෙන යනු ලැබූ පුද්ගලයන් ‘ගන්සයිඩ්’ කඳවුරේ තුවාල සහිතව රඳවා සිටිනු ඔහු දැක තිබේ.

ඒ තොරතුරු හෙළි කිරීම නිසා අද්මිරාල් කරන්නාගොඩ ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් තමන්ට මරණීය තර්ජන කළ බවට ඔහු චෝදනා කර තිබේ.

මහින්ද හා ගෝටාගේ සමීපතමයෙක්

එම ප්‍රකාශ අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දැනුම් දුන් බව කියන අද්මිරාල් කරන්නාගොඩ තමන් “හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු බැවින්” රහස් පොලිසිය මේ පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන බවට චෝදනා කරයි.

අද්මිරාල් කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීමට රහස් පොලිසිය පියවර ගෙන ඇත්තේ පැහැරගන්නා ලද පුද්ගලයන් ඝාතනය කළ බව නාවික හමුදාවේ විශේෂ බුද්ධි ඒකකයට අනුයුක්තව සිටි නාවික සෙබළුන් දෙදෙනකු විසින් අධිකරණය හමුවේ පළමුවරට පිළිගැනීමෙන් අනතුරුවයි.

නාවික හමුදාවේ විශේෂ බුද්ධි අංශයේ ප්‍රධානි ලෙස කටයුතු කළ කොමදෝරු ඩී කේ පී දසනායකත්, එම අංශයේම ලුතිනන් කොමදෝරු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි සහ ත්‍රිකුණාමලයේ 'ගන්සයිඩ්' කඳවුර භාරව සිටි ලුතිනන් කොමදෝරු සුමිත් රණසිංහගේත් නියෝග මත තමන් ඇතුළු පිරිසක් විවිධ අවස්ථාවලදී බලහත්කාරයෙන් පුද්ගලයන් පැහැරගෙන පැමිණි බව නාවික නැවි කෝට්ටේගොඩ සහ නාවික නැවි සෝමදාස යන දෙදෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ පාපොච්චාරණයක් කර ඇතැයි JDS වෙබ් අඩවිය හෙළි කොට තිබේ.

ඉන් අනතුරුව පොල්හේන්ගොඩ හා බැද්දගාන පිහිටි වසන්ත කරන්නාගොඩ ගේ නිවාස දෙකකටම ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු හමු නොවූ බව ‘රාවය’ පුවත්පත වාර්තා කර ඇත.

කොළඹ හා ඒ අවට පළාත්වලින් 2008-09 සමයේ එකොලොස් දෙනකු පැහැරගෙන ගොස්, වධ දී අතුරුදහන් කළ බවට සැක කෙරෙන නාවික හමුදාවේ 13 දෙනකු අතරින් ජ්‍යෙෂ්ඨතමයා ශ්‍රී ලංකාවේ ඉහලම හමුදා නිලධාරියා වන අආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නයි.

අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් සාපරාධී ක්‍රියා පිළිබඳ චෝදනා වලට අත් අඩංගුවට ගැනීම වලක්වා ලන ලෙස හිටපු ත්‍රිවිධ හමුදාපතිවරු පසුගිය සතියේ ජනාධිපතිවරයාට ප්‍රසිද්ධ ආයාචනයක් කළහ.