උතුරේ දිය සහ ගොඩ හර්තාල්: ඉහල ආරක්ෂක නිලධාරීන් අස් කිරීමට ජාත්‍යන්තර බලපෑම්

Report
5Shares

අතුරුදහන් කරවන ලද තම ආදරණීයයන් වෙනුවෙන් යුක්තිය නොලද දෙමළ අම්මාවරුන්ගේ විරෝධතාවට දෙවසරක් පිරෙද්දී ඒ අපරාධයට වගකිව යුතු බවට චෝදනා ලබන යුද හමුදාවේ දෙවැනියා ඇතුළු තරුපටිධාරී නිලධාරීන් පිරිසකට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර බලපෑම් එල්ල වී තිබේ.

ගොඩබිම මෙන්ම මුහුදේත් සියලු වැඩ අත් හිටුවමින් උතුරේ හර්තාලය දියත් කෙරුනේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තව දුරටත් ලිහිල් පිළිවෙතක් අනුගමනය නොකරන ලෙස බලකරන සන්දේශයක් අධිෂ්ඨාන සහගත විරෝධතාවක යෙදුනු සිය ගණනක් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට භාර දීමත් සමගය.

කිලිනොච්චියේ මෙන්ම යාපනය, මන්නාරම, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්ක වල ද පුද්ගලික වෙළෙඳ ව්‍යාපාර වලට අමතරව රජයේ ආයතන සහ පාසල්ද හර්තාලයට සහාය දක්වමින් වසා දමා තිබු අතර ධීවරයන් මුහුදු යාමද වර්ජනය කර තිබු බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

ඒ සමගම ශ්‍රී ලංකාවේ සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ඇතුළු සිව් දෙනකුගේ නම් සඳහන් කරමින් ආණ්ඩුවට අවධාරණය කර තිබුනේ වර්තමාන පාලනය යටතේත් සිදු කෙරෙන වධහිංසා නැවත්වීම ගැන “බරපතල කොට සලකන්නේ නම්” ඔවුන් සේවයෙන් පහ කළ යුතු බවයි.

“තවමත් සිදුකෙරෙන වද බන්ධන ගැන පියවර ගැනීම පිළිබඳව බරපතල කොට සලකන්නේ නම්, ශ්‍රී ලංකාව විසින් කළ යුත්තේ වධහිංසාවට සම්බන්ධ බවට එක්සත් ජාතීන්ගේ වාර්තා වල නම් කොට ඇති ප්‍රකට ආරක්ෂක නිලධාරීන් ගණනාවකගේම සේවය අත්හිටුවා විමර්ශන ආරම්භ කිරීමයි,” යනුවෙන් ITJP දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට අමතරව හිටපු හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, ජාතික බුද්ධි මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සිසිර මෙන්ඩිස් සහ සාක්ෂිකරුවන් සහ වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ නම් කරන ලද සිව් දෙනාය.

තවත් 47 ක්

අතිශයින් කුරිරු වධබන්ධන පැමිණවීම සම්බන්ධයෙන් චෝදනා ලබන තනි ආරක්ෂක ඒකකයක තවත් 47 දෙනකු නම් කළ හැකි බවටද ITJP රජයට අනතුරු අඟවයි.

“මේ, දෙමළ රැඳවියන් ලිංගික වශයෙන් දූෂණය කළ බවට චෝදනා ලබන (විදේශයක පුහුණුව සඳහා මෑතදී යවන ලද්දකුද ඇතුළුව) ශ්‍රී ලංකා යුද හමුදාවේ ගණනාවක්ද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වධකයන් ලෙස චෝදනා ලබන්නන්ට අමතරවය. චූදිත එක අපරාධකරුවකු දැනට විදේශීය තානාපති කාර්යාලයක සේවයෙහි යොදවා සිටින අතර තවත් දෙදෙනකු මෑත කාලයේ ජීවත්වුයේ ඕස්ට්‍රේලියාවේය.”

මෙසේ සාපරාධී කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලබන ආරක්ෂක අංශ නිලධාරීන් නම් කර ඇත්තේ මේ ආණ්ඩුවේ පළමු දෙවසර තුලදී ලිංගික දූෂණය ඇතුළු කුරිරු වද බන්ධනයට ගොදුරු වූ දාහත් වියැත්තන් ඇතුළු 16 දෙනකු පිළිබඳ වාර්තාවක් බ්‍රිතාන්‍යයේ ප්‍රධානතම පුනරුත්ථාපන ස්වේච්ඡා සංවිධානය වන වධහිංසාවෙන් නිදහස (Freedom From Torture) එළිදැක්වීමත් සමගය.

ඒ කාලය තුල සිදු කරන ලද ඒ හා සමාන අපරාධ 76ක් මීට ඉහතදී තම සංවිධානය විසින් ලේඛනගත කර තෙබෙන බව ITJP සිහිපත් කර දෙයි. ඒ අතරින් 57 දෙනකුම පවසා ඇත්තේ තමන් ලිංගික ප්‍රචණ්ඩතාවට ගොදුරු වූ බවයි.

“පිටරටක ඉඳගෙන ඉන්නා අපට මේසා විශාල සාක්ෂි ප්‍රමාණයක් එකතු කර ගත හැකි නම්, රට තුල හිඳිමින් නිසි විමර්ශන බලතල සහිතව ස්වාධීන අධිකාරියකට වාර්තා කරන විශ්වසනීය කණ්ඩායමකට සාක්ෂාත් කරගත හැකි දෑ කෙතරම් වේ දැයි සිතා බලන්න,” යි ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පවසන්නීය.

“ගෝතමාලාවේ තිබෙන්නාක් වැනි ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන ඒකකයක් පිහිටුවීම සඳහා ආණ්ඩුවට උපකාර කිරීමට අප ආරම්භයේ පටන්ම ඉදිරිපත් වුනත්, කිසිවිටෙකත් අපට ඔවුන්ගෙන් පිළිතුරක් ලැබුනේ නැත. ගැඹුරට කිඳා බැස ඇති මේ පීඩක ව්‍යුහයන් ගලවා දැමීම අතිශයින් තීරණාත්මකය. එසේ නැතහොත් සිදුවන්නේ මේ කැබලි වී, කුරිරු බවට ගොදුරු වුනු පීඩිතයන් ගණනින් වැඩිවීම පමණකි.”

වධබන්ධන, අතුරුදහන් කිරීම් සහ යුද අපරාධ ඇතුළු යුද්ධයෙන්ද, ඉන් පසුවද සිදුවූ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් පියවර ගැනීමට ජගත් ප්‍රජාව හමුවේ සිව් වසරකට ඉහත දුන් පොරොන්දු ඉටු නොකරන ආණ්ඩුව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කරන ලෙස බලහත්කාරයෙන් අතුරුදහන් කරවනු ලැබූවන්ගේ උතුරු නැගෙනහිර ඥාතීහු කිලිනොච්චියේ පිරෝධතාවක යෙදෙමින් එක්සත් ජාතීන්ට භාරදුන් සංදේශයකින් බලකර සිටියහ.

“සත්‍ය හා සංහිඳියා උගුල”

ජිනීවා නුවර 40 වැනි වතාවට මුළුදෙන මානව හිමිකම් සමුළුවෙන් ආණ්ඩුවට තවත් කල් දෙන ලෙස නිර්දේශ කරන දෙමළ දේශපාලකයන් තමන් වැනි යුද පීඩිතයන්ගේ අදහස් නිරුපණය කරනු වෙනුවට ආණ්ඩුවට සහාය දෙන්නන් බවට ඥාතීහු චෝදනා කරති.

යුද අපරාධ සිදු කරන ලද අතීතය අමතක කොට “සත්‍යය කතා කර, කනගාටුව ප්‍රකාශ කර” සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන ලෙස අගමැතිවරයා මෑතදී කිලිනොච්චියේදීම දෙමළ ජනතාවගෙන් ඉල්ලා තිබුනි.

එම යෝජනාවට ඉඩ සැලසීම “සත්‍ය හා සංහිඳියා උගුලේ වැටීමක්” ලෙස උතුරු නැගෙනහිර මව්වරු අනතුරු අඟවති.

“ආණ්ඩුවට කාල අවකාශයක් ලබා දීම දෙමළ පළාත් වල ස්ථානගත කර සිටින ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා වලට සිය කෙලෙසීම් දිගටම කරගෙන යාමට සහ යුද අපරාධ සම්බන්ධ ඉතා වැදගත් සාක්ෂි විනාශ කිරීමට දිරි දීමක් වන්නේය,” යි බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන්ගේ සංගමය මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ වෙත යොමු කරන ලද ලිපියේ අවධාරණය කරයි.

“මීට අමතරව, තවත් කාලය ලබා දීම දෙමළ ජනතාවට යුක්තිය සදහටම අහිමි කිරීමක් වෙයි.”