හමුදාව ඇල්ලූ ඉඩම් ඉල්ලා උතුරේ ජනතාව කොළඹ එති | VIDEO

Report
3Shares

ආරක්ෂක අංශ වාඩිලාගෙන සිටින සිය පාරම්පරික ඉඩම් අතහැර දැමීම වෙනුවෙන් රජයේ ප්‍රධානීන්ට බලකිරීම පිණිස උතුරේ ජනතාව අගනුවර බලා ගමන් කරමින් සිටිති.

තම ඉල්ලීම දිනාගැනීම සඳහා දෑවුරුද්දකට වැඩි කාලයක් මහමග උද්ඝෝෂණය කළ මුලතිව් දිස්ත්‍රික්කයේ කේපාපුලවු මුල්පදිංචි කරුවන්ගේ විරෝධතා භූමිය අබියසින් එම මහජන චාරිකාව ආරම්භ කරමින් පෙත්සමක් අත්සන් කරන අවස්ථාවේ පොලිසිය ඊට බාධා පමුණුවනු දැකගත හැකිවිය.

ආණ්ඩුව සංහිඳියාව සම්බන්ධයෙන් කතා කරන්නේ නම් ඒ සඳහා ගත හැකි එක පියවරක් වන්නේ හමුදාව බලහත්කාරයෙන් කඳවුරු ලා සිටින ඉඩම් වලින් ඉවත්වීම බව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය කියයි.

ඉඩම් නිදහස් කරන බවට ජගත් ප්‍රජාව හමුවේ දුන් පොරොන්දු ඉටු නොකර ආණ්ඩුව ජාත්‍යන්තරයටත් ජනතාවටත් බොරු නොකිව යුතු බව එම ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර ඉඩම් හිමියන්ගේ ඉල්ලීම් රැගත් සංදේශයක් මුලතිව් දිසා ලේකම්වරියට භාර දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හා ප්‍රකාශ කළේය.

“ජනතාවගේ ඉඩම් යළි ජනතාවට ලබා දීලා, ඔවුන්ව යලි පදිංචි කරලා, ඔවුන්ට අවශ්‍ය පහසුකම් දීලා මේ රටේ පුරවැසියන් හැටියට ගෞරවනීය ජීවිතයක් ගත කරන්න ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න,” යයි ඔහු කියා සිටියේය.

හමුදාව භාරයේ ඇති ජනතා ඉඩම් පසුගිය අවුරුද්දේ අවසානයට පෙර මුදා හරින බවට ජනාධිපතිවරයා සහතික වුවත් ඔහු යටතේම ඇති ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ අවුරුද්දේ ජනවාරි 25 දා නිකුත් කර ඇති සංඛ්‍යාලේඛන අනුව අක්කර 28,910 ක භුමි ප්‍රමාණයක් තවමත් නිදහස් කර නැත.

එසේ නිදහස් කර නොමැති උතුරේත්, නැගෙනහිරත් දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ඉඩම් හමුදාකරණයට හා මහා පාරිමාන ව්‍යාපාර වලට යට කර ඇති බව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ප්‍රියංකර කොස්තා මාධ්‍යවේදීන්ට පැවසීය.

ඉඩම් පැහැර ගැනීමට ලක්වූවන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් පිළිතුරක් දීම ජනාධිපති නියෝජිත උතුරේ ආණ්ඩුකාරයා විසින් මගහැර යන ලද්දේ එය විසඳාගැනීම යුද හමුදාවට සහ ඉඩම් හිමියන්ට බාර කරමිනි.

තමන් ආණ්ඩුකාර ධුරයට පත් වී ගතවූ සත් සතිය ඇතුලත සිව් වතාවක්ම ඉඩම් අහිමි වුවන් හමුවූ බවද ඔහු හෙළි කළේ ඔවුන්ගේ නියෝජිත පිරිසක් මුලතිව් දිසා ලේකම් කාර්යාලයේදී මුණ ගැසීමෙන් අනතුරුවය.

“ඒ නියෝජිතයන් සහ හමුදාවේ නියෝජිතයන් මුහුණට මුහුණලා කෙලින්ම මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කතා කරමින්... විසඳුම් කරා හැකි ඉක්මනින්... ඒ රාමුව තුල තමයි විසඳුමක් ලබාගත හැක්කේ,” යි ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින අනුන්ගේ ඉඩම් හැර යාමට ආණ්ඩුවෙන් මුදල් ඉල්ලා සිටින ආරක්ෂක බලධාරීන් පවසා ඇත්තේ වාඩිලාගෙන සිටින භූමිය නිදහස් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ තමන් නොව රජය බවයි.

ඉඩම් වලින් පලවා හරිනු ලැබූ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා යොදාගත යුතු මුදල් යුද හමුදාවට දීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය විරෝධය පල කර තිබේ.

හමුදාව අත්පත් කරගත් ඉඩම් අක්කර දහස් ගණනක් තිබෙන කිලිනොච්චිය, යාපනය, පුනරීන්, මන්නාරම සහ වව්නියාව හරහා ගමන් කරන මහජන චාරිකාව මාර්තු 2 දා කොළඹට පැමිණීමට නියමිතය.