බ්‍රිගේඩියර් ප්‍රියංකගේ නඩුවට බ්‍රිතාන්‍ය රජය ඇඟිලි ගැසුවේදැයි ප්‍රශ්න කෙරේ

Report
4Shares

ශ්‍රී ලංකාවේ හැත්තෑ වැනි නිදහස් සමරුවට විරෝධය පෑ දෙමළ උද්ඝෝෂකයන්ට බෙල්ල කපන සංඥාවක් පා බිය වැද්දීමේ චෝදනාව යටතේ උසාවියෙන් වරදකරුවූ ලන්ඩනයේ මහකොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශකයා සම්බන්ධ නඩු විභාගයට බ්‍රිතාන්‍ය ආණ්ඩුව බලපෑමක් කළේදැ’යි එරට විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.

ඒ අතර, බ්‍රිතාන්‍යයෙන් පිටවන්නට සිදුවූ වරදකාර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සමග නිල ඇඳුමින් යුතුව කොළඹදී ගන්නා ලද ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පල කිරීම නිසා ඉල්ලා අස්වීමට බලකෙරුනු පුරපතිනියක් සිය ක්‍රියා කලාපය වෙනුවෙන් සමාව ඉල්ලා ඇත.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ හිටපු අමාත්‍ය උපදේශක ආඬිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දු මරණ තර්ජනයක් කිරීමෙන් මහජන ආරක්ෂාව කඩ කළ බවට තීන්දු කළ වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු තුන්කට්ටුවක් විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලද්දේ ජනවාරි 21 දාය.

පල්ලියගුරුගේ විනෝද් ප්‍රියන්ත පෙරේරා, මයුරන් සදානන්දන් සහ ගෝකුලක්‍රිෂ්ණ නාරයනස්වාමි ඔහුට විරුද්ධව නඩු පවරා තිබුනි.

නඩු තීන්දුව ලබා දුන් දිනයේම අමාත්‍ය මංගල සමරවීර ලන්ඩනයේදී පොදුරාජ්‍ය මණ්ඩල හා එක්සත් ජාතීන්ගේ කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍යවරයා මුණගැසී තිබු අතර නඩුවට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකාවේ රජය ජනවාරි 24 දා කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් වරයාගෙන් ඉල්ලා තිබුනි.

එයින් සතියක් ගතවත්ම ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි වරෙන්තුව අහෝසි කොට නඩුව නැවතත් විභාගයට ගත් වෙස්ට්මින්ස්ටර් අධිකරණය හමුවේ බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය විසින් කරුණු දක්වන ලද්දේ වරදකාර බ්‍රිගේඩියර් බෙල්ල කපන අභිනය දක්වන අවස්ථාවේ රාජ්‍ය තාන්ත්‍රික මුක්තියක් භුක්ති විඳි බවටයි.

බ්‍රිතාන්‍ය මැදිහත්වීම සම්බන්ධයෙන් එරට විපක්ෂය විදේශ අමාත්‍යවරයාගෙන් දැඩි ලෙස ප්‍රශ්න කරන කර තිබේ.

“අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුව ඉවත් කර ගැනීමට මග පෑදුවේ නඩු තීන්දුවෙන් පසුව ශ්‍රී ලංකා මහකොමසාරිස් වරිය සමග විදේශීය හා පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු පිලිබඳ කාර්යාලය අතර පැවති සාකච්ඡාවක් බවට බරපතල චෝදනාවක් නගමින් මගේ ඡන්දදායකයන් ගණනාවක් මා අමතා තිබේ,” යි විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයාට ලිපියක් ලියන ලේබර් පාක්ෂික ෂෙවෝන් මැක්ඩොනා මන්ත්‍රීවරිය පවසයි.

“සැබවින්ම කාරණය එසේදැයි කරුණාකර පහදා දිය හැකිද? එය එසේ නම්, අධිකරණ ක්‍රියාදාමයට මැදිහත්වීමට විදේශීය හා පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු පිලිබඳ කාර්යාලය පියවර ගත්තේ කුමන පදනමින්දැ.” යි මිචම් සහ මෝර්ඩන් මන්ත්‍රීවරිය විමසා ඇත.

මේ අතර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සමග සිනා මුහුණින් යුතුව ගන්නා ලද ඡායාරූපයක් මුහුණු පොත ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීම කිසිසේත් හිතාමතා සිදු නොකළ බව පවසන වයඹදිග ලන්ඩනයේ හැරෝ පුරපතිනිය ඒ සම්බන්ධයෙන් දෙමළ ප්‍රජාවගෙන් සමාව ඉල්ලා තිබේ.

එම ඡායාරූප පලකිරීම හෙලා දකින හැරෝ වාසී දෙමළ ජනතාව ඇයට ඉල්ලා අස්වන ලෙස බල කරමින් පෙත්සමක් බාර දී ඇත.

බ්‍රිතාන්‍ය පුරපති පදවියකට පත්වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව වන කරීමා මරික්කාර් විසින් නිකුත් කරන ලද නිවේදනයක එම හමුව හඳුන්වා ඇත්තේ “අවාසනාවන්ත” එකක් ලෙසිනි.

“ශ්‍රී ලංකාවට ගිය පෞද්ගලික සංචාරයකදී, මා හැරෝ පුරපතිනිය වීම හේතුවෙන් ආණ්ඩුවේ ප්‍රභූන් මුණගැසීමට ආරාධනයක් ලැබිනි. අණදෙන නිලධාරී ප්‍රියංක ප්‍රනාන්දුද අවාසනාවන්ත ලෙසින් එම අවස්ථාවට සහභාගී වී සිටියේය. මා සහ අණදෙන නිලධාරී ප්‍රනාන්දු එකට ඉන්නා ඒවාද ඇතුළු ඡායාරූප ගණනාවක් එම අවස්ථාවේදී ගන්නා ලද බව මම දනිමි.”

නිල ලාංඡනයෙන් සහ කර පළඳනාවෙන් සැරසී බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මෙන්ම යුද හමුදාපති වරයා සමග ගන්නා ලද ඡායාරූප ද පුරපතිනිය විසින් ඔක්තෝබර් 27 දා සිය මුහුණු පොතේ පළකර තිබුනි.

“මෙමගින් දෙමළ ප්‍රජාවට සිදුවූ සිත්තැවුලක් හෝ පීඩාවක් වී නම්, කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි,” යි පවසන කරීමා මරික්කාර් පුරපතිනිය එම ඡායාරූපය මුහුණු පොතින් ඉවත් කරගන්නා බවට වැඩිදුරටත් සහතික වෙයි.

පුරපතිනියට ඉල්ලා අස්වන ලෙස බලකෙරෙන විරෝධතාවක් පුරවැසි දෙමළ ක්‍රියාකාරීන් විසින් සංවිධානය කර ඇති අතර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු පිළිබඳ නඩු විභාගය මාර්තු 1 දා පැවැත්වීමට නියමිතය.