හය මසක් පැරණි OMP යෝජනා හමස් පෙට්ටියේ

Report
3Shares

ශ්‍රී ලංකාවේ දහස් සංඛ්‍යාත අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් යුක්තිය සලසා දීම ඇතුළු යෝජනා සහිතව මාස හයකට ඉහතදී ජනාධිපතිවරයාට බාර දී තිබෙන නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.

පසුගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ නිකුත් කරන ලද අතුරු වාර්තාවකින් OMP කාර්යාලය විසින් අතුරුදහන් වුවන්ගේ පවුල් සඳහා අතුරු සහන යෝජනාවලියක් මෙන්ම සත්‍යය සොයා යුක්තිය පසිඳලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ද රජයට යෝජනා කර තිබුනි.

එම යෝජනා සකස් කර තිබුනේ උතුරේත් දකුණේත් විපතට පත් ඥාතීන් හමුවී හය මාසයක් තිස්සේ කරන ලද අදහස් විමසීම් වලින් අනතුරුවය.

“OMP කාර්යාලය විසින් කරන ලද මෙම නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසන මෙන් මෙම කාර්යාලය රජයෙන් ඉල්ලා සිටී,” යි කාර්යාලය පිහිටුවා වසරක් පිරීම නිමිත්තෙන් එහි සභාපති සාලිය පීරිස් ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

අතුරුදහන් තම සමීපතමයන් සොයමින් දසවසරකට ආසන්න කාලයක් අරගල කරන ජීවත්ව සිටින්නවුන්ට සහන සැලසීමට අමතරව බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් වලට සම්බන්ධ රජයේ සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීම ද කඩිනමින් කළ යුතු කටයුතු ලෙස නිර්දේශ කර තිබුනි.

OMP කාර්යාලය විසින් ගණන් බලා ඇති පරිදි අඩුම වශයෙන් 21,000 ක් යුද සමයේත් ඉන් පසුවත් අතුරුදහන් වී ඇත.

ඒ අතරින් යුද්ධාවසානයෙදී යුද හමුදාවට භාරවීමෙන් පසු ආගිය අතක් නැතියවුන්ගේ ඉරණම හෙළි කරදෙන ලෙස ඥාතීන් මෙන්ම සිවිල් ක්‍රියාකාරීන් ද කළ ඉල්ලීම ප්‍රමුඛත්වයෙහි ලා සලකන බව කඩිනම් නිර්දේශ රැගත් අතුරු වාර්තාව පවසයි.

අතුරුදහන්වූවන් සඳහා සැමරුම් දිනයක් නම් කිරීම, බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටා තිබූ අහිංසකයන්ගේ ආරාමය සමරු සිහිවටනය නැවත ස්ථාපිත කිරීම සහ කැනීම් කටයුතුවලින් අනතුරුව සමුහ මිනීවලවල් සිහිවටන ලෙස ආරක්ෂා කිරීමත් OMP යෝජනා අතර වෙයි.

පාර්ලිමේන්තුව ට පිවිසෙන මාර්ගයේ 1997 දී ස්ථාපනය කරන ලද අහිංසකයන්ගේ ආරාමය මහාචාර්ය ජගත් වීරසිංහගේ නිර්මාණයකි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයක අතුරුදහන් කරනු ලැබුවන් වෙනුවෙන් ඉදිකරන ලද එම සමරු සිහිවටනය මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී කඩා බිඳ දමන ලදී.

එතැන දැන් ඇත්තේ සාප්පු සංකීර්ණයකි.

අහිංසකයන්ගේ ආරාමය කඩා බිඳ දමද්දී

OMP කාර්යාලයේ පලදායීතාවය මෙන්ම රජයේ අවංක භාවය පිළිබඳව ඥාතීන් වෙත මුල පටන් පැවති සැකයද අභියෝගයක් ලෙසින් අතුරු වාර්තාව විසින් හඳුනාගෙන තිබුනි.

“මෙතෙක් මේ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ලබා දීමට විවිධ රාජ්‍ය යාණ්ත්‍රනවලට නොහැකිවීම හේතුවෙන් රජය කෙරෙහිද අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සම්බන්ධයෙන්ද දැඩි අවිශ්වාසයක් ගොඩනැගී තිබේ,” යි වාර්තාවේ සඳහන් වේ.

තමන් අතපත් වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ නායකත්වය යටතේ දස පුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීම ජාත්‍යන්තර මානව හිමිකම් ක්ෂේත්‍රයේ බරපතල විවේචනයට ලක්විය.

කෙසේවෙතත්, එක්සත් ජාතීන් ඇතුළු ගෝලීය බලවතුන් OMP කාර්යාලයේ ක්‍රියාකාරිත්වය සාධනීය යැයි අගයා තිබේ.

සිය ආයතනයේ වර්ෂ පුර්ණයත් සමග උතුරේත් දකුණේත් ප්‍රාදේශීය කාර්යාල දෙකක් විවෘත කිරීමට OMPය සැලසුම් කොට ඇත.

එම කාර්යාල ලබන මාසයේ මන්නාරමේ සහ මාතර ස්ථාපිත කරනු ලබන බව සාලිය පීරිස් සභාපතිවරයා පවසයි.

ඒ සමගම ආර්ජන්ටිනාවේ අධිකරණ වෛද්‍ය විද්‍යා කණ්ඩායමේ සභාපති ආචාර්ය ලුවී ෆොන්ඩබ්‍රයිඩර්ගේ ප්‍රධානත්වයෙන් “මානව වර්ගයාට ගරු කාරණා සත්‍ය සෙවීමේ විද්‍යාත්මක ගවේෂණය” තේමා කරගත් දේශනයක් මාර්තු 9 සවස 5ට කොළඹ බණ්ඩාරනායක සමරු සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

අතුරුදහන් පුද්ගලයන්ගේ ඉරණම හෙලිකරගැනීමේ කටයුතුවල තවත් මූලික අංගයක් වන කැනීම් කටයුතු සිදු කිරීම සහ මානව දේහ හඳුනාගැනීම ට සම්බන්ධ මහජන අවබෝධය ගොඩනැගීම එම දේශනයේ අරමුණ බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වැඩිදුරටත් කියා සිටී.

ශ්‍රී ලංකාවේ මේතාක් සොයාගෙන ඇති විශාලතම සමුහ මිනීවල වන මන්නාරම සතොස සමුහ මිනීවලේ වැඩකටයුතු වලට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය අරමුදල් ලබා දී ඇත.