කඩකළ පොරොන්දු රැකීමට ශ්‍රී ලංකාවට තවත් කාලය දීමට ජිනීවා සැරසෙයි

Report
5Shares

යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය සලසා දීම ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීමට හතර අවුරුද්දකට ඉහතදී දුන් පොරොන්දු ඉටු කිරීම මගහැර යාමට අමතර කල් නොදෙන ලෙස යුද පීඩිතයන් නොකඩවා කරන ආයාචනය නොතකා ශ්‍රී ලංකාවට තවත් කාල දිගුවක් දීම සඳහා කටයුතු සුදානම් වෙමින් පවතී.

සත්‍යය, යුක්තිය, සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් රැකීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ජගත් ප්‍රජාව සමග ඇති කරගෙන තිබෙන එකඟතා ක්‍රියාවේ යෙදවීම සඳහා 2021 දක්වා කල් ගැනීමට ඉඩ සැලසෙන යෝජනා කෙටුම් පතක් මේ වනවිට ශ්‍රී ලංකාවේ රජයට මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවල් වලටද ලබා දී ඇත.

ගගන වෙත ද පිටපතක් ලැබී ඇති එම යෝජනාව බ්‍රිතාන්‍යය මුල්වී කෙටුම්පත් කොට බෙදා හැර ඇත්තේ කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව හා මොන්ටෙනීග්‍රෝ රාජ්‍යය විසිනි.

මේ ආණ්ඩුව පත්වූ සමයේ පටන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය සමග පවත්වාගෙන යන සම්බන්ධතාව ඔවුන්ගේ ප්‍රශංසාවට ලක්වී ඇත.

“සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් වලට අදාළ නිර්දේශ සහ වෙනත් ක්‍රියාමාර්ග ක්‍රියාවේ යෙදවීම සම්බන්ධ ප්‍රගතිය දිගටම තක්සේරු කරමින්, මානව හිමිකම් මණ්ඩලයේ හතලිස් තුන් වැනි සැසිවාරයට ලිඛිත දැනුම් දීමක් කර, එහි හතලිස් හයවැනි සැසිවාරයේදී 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ පූර්ණ වාර්තාවක් සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරන ලෙස මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටී,” යි කෙටුම්පත යෝජනා කරයි.

මානව හිමිකම් මණ්ඩලයේ 30 වැනි සැසිවාරය පැවති 2015 දී ශ්‍රී ලංකාව 30/1 යෝජනාවෙන් ගිවිසගෙන ඉටු නොකළ පොරොන්දු වෙනුවෙන් ජාත්‍යන්තර බලවතුන් 2017 දී ලබාදුන් දෑවුරුදු කාල අවකාශය මාර්තුවෙන් හමාර වේ.

මෙවර පැවැත්වෙන එජා මානව හිමිකම් මණ්ඩලයේ හතලිස් වැනි සැසිවාරය ආරම්භයේදීම අතුරුදහන් වුවන්ගේ මව්වරුන් ප්‍රමුඛ උතුරු නැගෙනහිර සංවිධාන ගණනාවක් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේට සහ විදේශීය දූත මණ්ඩල වෙත යොමු කළ මහජන සංදේශ මගින් මහත් ඕනෑකමින් ඉල්ලා තිබුනේ ආණ්ඩුවට තවත් කල් නොදෙන ලෙසයි.

දස වසරක් තිස්සේ බලා සිටි තමන්ට යුක්තිය සැලසීම සඳහා දුන් පොරොන්දු ඉටු කිරීමට ශ්‍රී ලංකාවට තවත් කල් දීම ලෝකයේ වෙනත් රටවලට බියකින් තොරව යුද අපරාධ කිරීම සඳහා “පාර කපා දීමක්” ලෙස එම සංදේශ අනතුරු අඟවා තිබුනි.

ජාත්‍යන්තර යුක්ති විනිශ්ච

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කරන ලෙසත්, රටේ යුද පීඩිතයන්ගේ සහ මානව හිමිකම් වල තත්වය සෑම හය මසකට වතාවක් ජගත් මණ්ඩලයට වාර්තා කිරීම සඳහා දිවයිනට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු පත් කරන ලෙසත් ඔවුන් ඉල්ලා තිබුනි.

එහෙත්, මානව හිමිකම් රැකීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත් කරගෙන තිබෙන බව මෙවර ජිනීවා සමුළුවට යෝජනා ගෙන ඒමට මුල් ව සිටින රටවල විශ්වාසයයි.

එහිදී හමුදාව වාඩිලාගෙන සිටින ඇතැම් ඉඩම් ආපසු පැවරීම ගැන මෙන්ම අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමද ඔවුන්ගේ ප්‍රශංසාවට ලක්ව තිබේ.

ශ්‍රී ලංකාවට තවත් කල් දෙන්නේ නම් ඒ සඳහා නිශ්චිත දින නියම කරන ලෙස යුද පීඩිතයන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන්, යෝජනාව ගෙන එන රටවල් අනුග්‍රහයක්ද දක්වා තිබේ.

“හානිපුර්ණ කාර්යාලයක් පිහිටුවීමටද සත්‍ය හා සංහිඳියා කොමිසමක් ස්ථාපිත කිරීමේ පනත් කෙටුම්පතක් සඳහා සංකල්ප පත්‍රිකාවක් කැබිනට්ටුවට ගෙන ඒම, 1978 ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීමේ යෝජනාවක් සහිතව ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත් කෙටුම්පතක් සකස් කිරීම ඇතුළු මානව හිමිකම් මණ්ඩලයේ 30/1 යෝජනාව ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ගෙන ඇති අනෙකුත් පියවර සැලකිල්ලට ගන්නා අතරේ මේ සන්දර්භය තුල තවත් සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගැනීමේ අවශ්‍යතාව නැවත අවධාරණය කරමින්, නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කාල රාමුවක් සහිත උපාය මාර්ගයක් යොදා ගැනීමට දිරිදෙයි.”

සත්‍ය හා සංහිඳියා කොමිසමක් වෙනුවෙන් පනත් කෙටුම්පතක් සැකසීම සඳහා කැබිනට් මණ්ඩලයට ගෙනා යෝජනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ විරෝධය හමුවේ ඉවත් කරගෙන තිබෙන අතර ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත් කෙටුම්පත දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන වල දෝෂ දර්ශනයට ලක්වී තිබෙන්නකි.

ජනාධිපතිවරයා නීති විරෝධී ලෙසින් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කර පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මැවූ දේශපාලන අර්බුදය “සාමකාමී ලෙසින් විසඳා ලන්නට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන රඟපෑ ශක්තිමත් භූමිකාව” යෝජනා කෙටුම්පතේ අගය කිරීමට ලක්ව තිබේ.

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය, නිදහස, ස්වාධීනත්වය, ඒකීය බව සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට කැපවී සිටින බව කියවෙන යෝජනාවේ අවසාන සංශෝධිත කෙටුම්පත මානව හිමිකම් මණ්ඩලයේ ඡන්දය සඳහා මාර්තු 22 දා සභාගත කෙරෙනු ඇතැයි ගගන ජිනීවා වාර්තාකරු පවසයි.

මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව පිළිබඳ සිය වාර්තාව ලබන සතියේදී ජගත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ පිලිබඳ විවාදය මාර්තු විසි වැනිදා සිදු කෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ.