මරණ තර්ජන කිරීම බ්‍රිගේඩියර් ප්‍රියංක ගේ “රාජකාරි වගකීමක් නොවේ”

Report
6Shares

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු අමාත්‍ය උපදේශකයා සේවා කාලය තුල රාජ්‍ය තාන්ත්‍රික මුක්තියක් භුක්ති වින්දේ යැයි බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් සහතික වී තිබුනත් මරණීය තර්ජනය කිරීම ඔහුගේ රාජකාරියට අයත් නොවන බව බ්‍රිතාන්‍ය අධිකරණය විසින් තීන්දු කර තිබේ.

වෙස්ට්මින්ස්ටර් ප්‍රධාන මහේස්ත්‍රාත් එමා ආර්බත්නොට් විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ “විරෝධතා පැවැත්වෙන අවස්ථාවේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව සැලසීම” අමාත්‍ය උපදේශක රාජකාරියේ අංගයක් ලෙස අධිකරණයට කරුනු දක්වනු ලැබීමෙන් අනතුරුවය.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අබියස උද්ඝෝෂණය කළ දෙමළ පිරිසක් දෙසට හැරී ගෙල සිඳින ආකාරය දැක්වීමෙන් බ්‍රිගේඩියර් ආඬිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දු බියවැද්දීමක් කළ බව ජනවාරියේ තීන්දු කළ විනිසුරු තුන් කට්ටුවක් විසින් ඔහු අත් අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ද නිකුත් කර තිබුනි.

බීබීසීය ඇතුළු ජනමාධ්‍ය වලට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පවසා තිබු පරිදි ශ්‍රී ලංකාවේ හැත්තෑ වැනි නිදහස් සමරුව දා බ්‍රිගේඩියර් ප්‍රනාන්දු පෑ අභිනය වියනා සම්මුතිය මගින් සැලසෙන රාජ්‍ය තාන්ත්‍රික මුක්තියේ වරප්‍රසාදයෙන් ආරක්ෂා වෙයි.

වරෙන්තුව අහෝසි කොට පෙබරවාරි මුලදී නඩුව නැවතත් කැඳවන ලද අවස්ථාවේ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යාංශය ද අධිකරණයට දැනුම් දී තිබුනේ බ්‍රිගේඩියර් ප්‍රනාන්දු එම වරද කරන අවස්ථාවේ රාජ්‍ය තාන්ත්‍රික මුක්තියක් භුක්ති විඳි බවයි.

ඒ සම්බන්ධ නඩුව නැවත විභාගයට ගත් මාර්තු 1 සිකුරාදා වරදකරු වෙනුවෙන් පෙනී සිටි නිකොලස් වේන් බැරිස්ටර් වරයා කියා සිටි පරිදි ගෙල කපන අයුරු සන් කිරීම ද බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ රාජකාරියට ගැළපෙන්නකි.

සංවිධානය කිරීමට නියමිත ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සම්බන්ධයෙන් කල්තියා මහකොමසාරිස් ට දැනුම් දී මහකොමසාරිස්ගේ අනුදැනුම පිට “ඊට එරෙහි නිසි උපායමාර්ග සැලසුම් කොට ක්‍රියාවේ යෙදවීම” ආරක්ෂක උපදේශක රාජකාරියක් බව අධිකරණයේ අවධානයට යොමු කෙරිනි.

කෙසේ වෙතත් ආරක්ෂක උපදේශක වශයෙන් 2017 මැයි 11 දා දෙන ලද පත්වීම් ලිපිය අධ්‍යයනය කළ මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන් පරිදි “පුද්ගලික චර්යාව සහ වෘත්තීය ප්‍රමිතිය මනාව පවත්වාගෙන යාම” ඔහුගෙන් අපේක්ෂා කෙරේ.

“ඔහු විසින් සිදුකර ඇතැයි ප්‍රකාශ වන පරිදි තුන් වතාවක් උගුරු දණ්ඩ හරහා ඇඟිලි යැවීම රාජකාරියේ අංගයක් නොවන හෙයින්, එම කටයුත්ත වියනා සම්මුතිය මගින් ආවරණය නොකෙරේ,” යි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

එසේ හෙයින්, මහජන ආරක්ෂාව කඩ කිරීමේ වරදින් ගැලවීමට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ට රාජ්‍ය තාන්ත්‍රික මුක්ති වරප්‍රසාදය යොදා ගත නොහැකි බව තීරණය කළ එමා ආර්බත්නොට් මහේස්ත්‍රාත්වරිය ඔහු සම්බන්ධ නඩුව මාර්තු මස 15 දා නැවත විභාගයට ගැනීමට නියම කළාය.

තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව වෙස්ට්මිනිස්ටර් අධිකරණ භූමියේ රැස්ව සිටි දෙමළ උද්ඝෝෂකයන් බ්‍රිගේඩියර් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් සටන් පාඨ කියනු දකින්නට ලැබුනි.