'ගැටේ ලිහා ගැනීම' සඳහා ජිනීවා යන මහින්ද සමරසිංහට ජාත්‍යන්තර විරෝධයක්

Report
4Shares

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා ජගත් මානව හිමිකම් සමුළුවට සහභාගි වීම සඳහා ජිනීවා යැවීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට ජාත්‍යන්තර විරෝධයක් මතුවී තිබේ.

සිව් වසරකට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී වර්තමාන ආණ්ඩුවද හවුල් වී සම්මත කරගත් සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම සම්බන්ධ 30/1 යෝජනා මාලාව “ගැටයක්” ලෙස හඳුන්වන ජනාධිපතිවරයා එය “ලිහා ගැනීම” සඳහා නියෝජිතයන් තුන් කට්ටුවක් ජිනීවා යවන බව ප්‍රකාශ කර ඇත.

ආචාර්ය සරත් අමුණුගම හා මහින්ද සමරසිංහ යන විපක්ෂ මන්ත්‍රී දෙපල සමග උතුරේ ආණ්ඩුකාර සුරේන් රාඝවන් මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට යවනු ලබන තිදෙනායි.

ඒ අතරින් මහින්ද සමරසිංහ යනු “යුද අපරාධ සිදුවී නැති බව කියන, මාධ්‍යවේදීන්ට තර්ජනය කළ සහ මරා දමනු ලැබූ දරුවකුගේ පියා බිය වැද්දු” අයකු බව දැක්වෙන පිටු 10 ක විස්තර ගොනුවක් ශ්‍රී ලංකාවේ සත්‍යය සහ යුක්තිය සඳහා වන ව්‍යාපෘතිය (ITJP) සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ජිනීවා සමුළුවේ මාර්තු 22-23 දෙ දිනේදී ශ්‍රී ලංකාව පිලිබඳ සාකච්ඡාව පැවැත්වෙන බව පවසන ජනාධිපතිවරයා තමන්ගේ නියෝජිතයන් තිදෙනකු යවන්නේ “මේ ගැටේ කොහොමද ලිහා ගන්නේ කියලා බලන්න” යැයි කියා සිටී.

"මගේ නියෝජිතයින් ගිහිල්ලා ඉල්ලීම කරන්නේ අපිට කරන යෝජනා, පුලුවන් තරම් බලපෑම් කරන්නේ නැතුව, අපිට නිදහසේ ඉන්න දෙන්න, මේ ප්‍රශ්න අපි විසඳ ගන්නම්," යැයි පවසමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තම උපාය මාර්ගය මාධ්‍යවේදීන් හමුවේ විස්තර කළේය.

"යුද්ධය ඉවර වෙලා අවුරුදු දහයක් ගිහිල්ලා, නැවත මේ පරණ දේවල් හොයා හොයා මේ තුවාලය පාරගෙන හිත් අමනාප කරන්නේ නැතුව, නැවත වෛරය මතක් කරගන්නේ නැතුව අපි සියලු දෙනාම සාමය සඳහා කැපවෙන්න මේවා අමතක කරලා, එකම පිරිසක් විදිහට රටේ ජීවත් වෙන්න පසුබිම හදාගන්න අපිට උදව් වෙන්න,” තම නියෝජිතයන් ජගත් සමුළුවෙන් ඉල්ලා සිටිනු ඇතැයි ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් පහක ආණ්ඩු සැරසෙන්නේ ශ්‍රී ලංකාව විසින් හතර අවුරුද්දක් තිස්සේ ඉටු නොකළ පොරොන්දු සපුරා ලීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් තවත් කල් ඉල්ලා දීමටයි.

කෙසේ වෙතත්, ITJP සහ JDS එක්ව ප්‍රකාශයට පත් කර ඇති නිවේදනයකින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් යවනු ලබන නියෝජිතයන්ගේ වගකීම වන්නේ එක්සත් ජාතීන් හමුවේ ගිවිසගත් පොරොන්දු ඉටු කිරීම විනා ඒවා මග හැර යාම නොවන බවයි.

“සමරසිංහ මහතාගේ රාජකාරිය වන්නේ යුද අපරාධ චෝදනාවලට අදාළ වගවීම සම්බන්ධයෙන් 2015 දී ජාත්‍යන්තර ප්‍රජාවට දුන් පොරොන්දු ඉටු කිරීමට ශ්‍රී ලංකාව අදිටන් කරගෙන සිටින බව සාමාජික රටවලට ඒත්තු ගැන්වීමයි.”

ත්‍රිකුණාමලයේ දී සිය පුත්‍රයා ඇතුළු දරුවන් පස් දෙනකු 2006 දී වෙඩි තබා මරා දමන ලද්දේ රජයේ ආරක්ෂක අංශ වල සාමාජිකයන් විසින් බව හෙළි කරන දොස්තර කාසිපිල්ලේ මනෝහරන් බියවැද්දීම සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ බවට සැකකෙරෙන සන්නද්ධ සෙබළුන් කණ්ඩායමක් සිරකරුවන් වෙඩි තබා ඝාතනය කරනු දැක්වෙන වීඩියෝ පටයක් 2009 දී චැනල් 4 නාලිකාවට ලබා දුන් JDS සංවිධානයේ මාධ්‍යවේදීන්ට දඬුවම් පමුණුවන බවට තර්ජනය කිරීමත් හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහගේ යුද අපරාධ ප්‍රතික්ෂේප කිරීම් විස්තර කෙරෙන නිවේදනයේ දැක්වෙයි.

“ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වගවීම සම්බන්ධයෙන් පියවර ගැනීම බරපතල ලෙස සලකන්නේ නැතිවා පමණක් නොව, ඒ බව බොරුවට අඟවන්නට තරම් විනීත කමක් ද නොදක්වයි,” යනුවෙන් JDS කැඳවුම්කරු රෝහිත භාෂණ අබේවර්ධන පවසා සිටී.

මේ අතර යුද අපරාධ සම්බන්ධයෙන් පියවර ගන්නා බවට දුන් පොරොන්දු සදහටම ඉටු නොකර සිටීමේ “උපායමාර්ගයක්” ලෙසින් ජගත් මානව හිමිකම් මණ්ඩලයේදී ගිවිසගත් පොරොන්දු ඉටු කිරීමට ලබා දුන් කාලසීමාව දීර්ඝ කරවා ගැනීමට රජය කටයුතු කරමින් සිටී.

“සම අනුග්‍රාහකත්වයෙන් යුත් යෝජනා සම්මතයක් මඟින් ස්ථිර සහ කල් පවත්නා සංහිඳියා ක්‍රියාදාමයක් පවත්වා ගැනීමට තමන් තුළ ඇති කැපවීම සහ අධිෂ්ඨානය අඛණ්ඩවම ප්‍රදර්ශනය කරන ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ඉදිරිපත් කෙරෙන කල් ඉල්ලීමේ යෝජනාවක් සම්මත කර ගැනීම සඳහා සම අනුග්‍රහය දැක්වීම මඟින් 2015 ඔක්තෝබර් 01 වැනි දිනැති 30/1 යෝජනා සම්මතයේ කාලසීමාව දීර්ඝ කරවා ගැනීමට කටයුතු කරයි,” යනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

“30/1 යෝජනා සම්මතය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළෙහි හිමිකාරීත්වය ශක්තිමත් කිරීම ඔස්සේ, ශ්‍රී ලංකාවට එරෙහිව අඛණ්ඩව නැඟෙන ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වලක්වාලීමට මෙම උපාය මාර්ගය සමත් වනු ඇත,” යි එහි වැඩිදුරටත් සඳහන් වේ.

සත්‍යය, යුක්තිය, සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් රැකීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ජගත් ප්‍රජාව සමග ඇති කරගෙන තිබෙන එකඟතා ක්‍රියාවේ යෙදවීම තවත් කල් යැවීමට ඉඩ සැලසෙන යෝජනා කෙටුම් පතක් බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව හා මොන්ටෙනීග්‍රෝ රාජ්‍යය එක්වී කෙටුම්පත් කර තිබේ.

දස වසරක් තිස්සේ බලා සිටි තමන්ට යුක්තිය සැලසීම සඳහා දුන් පොරොන්දු ඉටු කිරීමට ශ්‍රී ලංකාවට තවත් කල් දීම ලෝකයේ වෙනත් රටවලට බියකින් තොරව යුද අපරාධ කිරීම සඳහා “පාර කපා දීමක්” ලෙස අතුරුදහන් වුවන්ගේ මව්වරුන් ප්‍රමුඛ උතුරු නැගෙනහිර සංවිධාන ගණනාවක් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ඇතුළු ජගත් බලවතුන්ට අනතුරු අඟවා තිබුනි.